වැලිකඩ නඩුවේ තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස්

වැලිකඩ නඩුවේ තුන්වන විත්තිකරු වන ඉන්දික සම්පත් නිදොස් කොට නිදහස්

by Staff writer 15-07-2020 | 5:32 PM

COLOMBO (News 1st) - වැලිකඩ නඩුවේ තුන්වන විත්තිකාර බන්ධනාගාර බුද්ධි නිලධාරී ඉන්දික සම්පත් ඉමදූවගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ.

ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අටදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීය. විත්ති චාවිකය කැඳවීමකින් තොරව ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වී නොමැති බව පෙන්වා දෙමිනි. ඒ අනුව විත්තිකරු සියලු අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල ඒකමතකිව තීන්දු කළේ ය. නඩුවේ පළමු හා දෙවන විත්තිකරුවන් වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහි වැඩිදුර සාක්ෂි විභාගය ලබන 30 වැනි දා යළි ආරම්භ කිරීමට නියමිතය.