තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වැනි දිනය අදයි

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වැනි දිනය අදයි

by Staff writer 15-07-2020 | 7:28 AM
COLOMBO (News 1st) : මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වැනි දිනය අදයි. අද දෙවැනි දිනටත්, රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ. හෙට සහ අනිද්දා ආරක්ෂක අංශ නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇති. ප්‍රකාශයට පත්කර ඇති දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන්ට ලබන 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ. මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ජන්ද දායකින් සංඛ්‍යාව හත් ලක්ෂ පන්දහස් අසූපහකි. මේ අතර අග්බෝපුර තැපැල් කාර්යාලයෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට යළි ආරම්භ වේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ රාජාංගනය, වැලිකන්ද සහ අග්බෝපුර තැපැල් කාර්යාලවලින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අත්හිටවූ බවයි. රාජාංගනය සහ වැලිකන්ද තැපැල් කාර්යාල තවදුරටත් වසා දමා තිබේ. එම ප්‍රදේශවල තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය.