ටිපර් මරුවාට බිලි වූ කොස්තාපල් උසස් කෙරේ

ටිපර් මරුවාට බිලි වූ කොස්තාපල් උසස් කෙරේ: රියැදුරු රිමාන්ඩ්

by Staff writer 15-07-2020 | 9:38 PM

COLOMBO (News 1st) - හක්මන ප්‍රදේශයේදී ටිපර් රථ රියැදුරෙකු හප්පා පළායෑමේ සිද්ධියෙන් මිය ගිය පොලිස් කොස්තාපල් මාලිත ෂාමේන් විතාරණ මහතා පොලිස් සැරයන් ධූරයට උසස් කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම උසස් වීම සිදු කර ඇති බවය. පෙරේදා රාත්‍රී 11.00 ට පමණ හක්මන, කෝංගල 13 කණුව මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කර ටිපර් රථ රියැදුරෙකු පළා ගොස් තිබුණි. අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූහ. අනතුරින් මියගියේ, හක්මන පොලිස්ථානයට අනුයුක්ත 36 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකි. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ, සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, රාජකාරී නිලධාරීන් සුළු හා බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අන්තරාදායක ලෙස රිය පැදවීම, විරුද්ධ මාර්ගයේ ගමන් කිරීම යන රථවාහන වැරදි සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණි.