12යි 12 කාමරයක පුද්ගලයින් 35 දෙනෙක්..

ජනාධිපති කොමිසම පැවැත්වෙන පරිශ්‍රයේ ඉඩකඩ නැති බව කියමින් සංවාදාත්මක තත්ත්වයක්

by Staff writer 15-07-2020 | 10:14 PM

COLOMBO (News 1st) - පසුගිය රජය සමගේ සිදුවීයැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පැවැත්වෙන පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අද එහි සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.

අද කොමිසම හමුවේ සලකා බැලුණේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ. පී දසනායක මහතා ගොනු කර තිබූ පැමිණිල්ලකි. කොළඹදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය තමාට එරෙහි අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මහාධිකරණයේ නඩු පවරා ඇතැයි ඩී.කේ.පී දසනායක මහතා මෙම කොමිසමට පැමිණිලි කර තිබේ. පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවන් කර ඇති පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් වන ඩී. එම්. ස්වාමිනාදන්, රන්ජන් රාමනායක රංජිත් මද්දුමබණ්ඩාර සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන් අද කොමිසම හමුවේ පෙනී සිටියහ. හිටපු අමාත්‍ය රාජිත සේනාරන්න මහතා ද මෙහි වගඋත්තරකරුවෙකු ලෙස න ම්කර ඇති බැවින් ඔහු වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද කොමිසම හමුවේ පෙනි සිටිමින් කරුණු දැක්වූවේ ය. මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න යන මහත්වරුන් ද මෙම පැමිණිල්ලට අදාළව අද කොමිසම හමුවේ පෙනී සිටියහ. නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ, කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් ඇති අවස්ථාවක 12 යි 12 කාමරයක පුද්ගලයින් තිස්පස් දෙනකුට වැඩි පිරිසක් රැඳී සිටීම දැඩි අවදානම් තත්ත්වයක් බවයි. එබැවින් පැමිණිල්ල මෙහෙයවීම ඉඩකඩ ඇති වෙනත් ස්ථානයක එය සිදු කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේ ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වැඩි ඉඩකඩක් සහිත ස්ථානයක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 කට වඩා වැඩි මුදලක් වැය වන බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ ය. ඔහු සිහිපත් කළේ, අවම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ න්‍යාය යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන් හොඳින්ම දන්නා කරුණක් බවයි. මේ අතර පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට හේතු වූ ප්‍රකාශ සටහන්වල පිටපත් ලබා දෙන ලෙස ද වගඋත්තරකරුවන් අද කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තම මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස බලපාන බවත් මේ සඳහා පැමිණීමට මැතිවරණයට පසු දිනයක් ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියේය. රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ද පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කොමිසමෙන් විමසා සිටියේ, සිය සේවාදායකයා සම්බන්ධ හඬපට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස පවතිද්දී මෙම කොමිසම හමුවට රැගෙන ඒමට අවසරයක් ගත්තේ ද යන්නයි. අදාළ මහේස්ත්‍රාත්වරයා එම කරුණ තමා සමග විසඳා ගනු ඇති බවත් ඒ පිළිබඳ කලබල නොවිය යුතු බවත් සභාපතිවරයා නීතිඥවරයාට දැනුම් දුන්නේ ය. පැමිණිල්ලට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 10 වැනි දාට කල් තැබුණි.