අලුත් පොකුරේ ආසාදිතයින් සොයා තවදුරටත් මෙහෙයුම්..

අලුත් පොකුරේ ආසාදිතයින් සොයා තවදුරටත් මෙහෙයුම්..

by Staff writer 15-07-2020 | 7:53 PM

? කන්දකාඩු පොකුරෙන් තව ත් ආසාදිතයින් ? රාජංගනයෙන් කොවිඩ් රෝගීන් 17 ක් ? දිවයිනේ ප්‍රදේශ රැසක PCR පරීක්ෂණ

COLOMBO (News 1st) - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග නිර්මාණය වූ අලුත් පොකුර ආශ්‍රිතව තවදුරටත් ආසාදිතයින් ඇත්දැයි හඳුනා ගැනීම් සිදු කෙරේ.

සෞඛ්‍ය අංශ පවසන පරිදි ආශ්‍රිතයින් හඳුනාගත් ස්ථානවල පී.සී.ආර් පරීක්ෂණ සිදුවේ. රාජාංගනය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගත් බව උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. අද දිනයේ හමුවී ඇති ආසාදිතයින් පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛන මේ අවස්ථාව වනවිටත් ප්‍රකාශවී නැත. ඊයේ දිනයේ හඳුනාගෙන තිබූ ආසාදිතයින් ගණන 19 කි. ඉන් 9 ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයිනි. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තව ත් රැඳවියන් 4 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ. සෙසු පුද්ගලයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමාන් සිට පැමිණි පුද්ගලයින්ය. රාජාංගනය ප්‍රදේශයේ ඇති ග්‍රාමසේවා වසම් 21න් 11ක් තවදුරටත්, අවදානම් කලාප ලෙස නම් කර තිබේ. රාජාංගනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, මේ වනවිට පවුල් 248 ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවයි. රාජාංගනය ප්‍රදේශයේ පුද්ගලයින් 1016 දෙනෙකු ඒ අනුව ස්වයං නිරෝධායනය වනු ඇත. ගම්පහ, වැරැල්ලවත්ත සහ බණ්ඩාරවත්ත යන ප්‍රදේශවලින් හඳුනාගත් කොරෝනා අසාදිතයින් දෙදෙනා සමග සම්බන්ධතා පැවැත්වූ සහ අදාළ ප්‍රදේශයේ පිරිසක් අද පී.සී.ආර් පරීක්ෂාව සඳහා යොමු කෙරුණි. ගම්පහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ සිදු වුණේ ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදීය. පුද්ගලයින් 70 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂාවන් මෙහිදී සිදු කෙරුණි. ‍කහවත්ත ඇන්දාන, වත්‍‍‍‍තකන්ද ප්‍රදේශයේ පිහිටි පවුල් 6 ක පුද්ගලයින් 22 දෙනෙක්, ඊයේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ. කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකුගේ බිරිඳගේ නිවස ද ඒ අතර වේ. කොරෝනා ආසාදිත වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයෙකුගේ යාබද නිවසේ සීගිරිය පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියෙක් සිටීම හේතුවෙන් මේ වනවිට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රමාණය සීමා කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, නිලධාරීන් කිහිපදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද කටයුතු කර ඇති බවයි. බාහිර පුද්ගලයින් සීගිරිය පොලිස් ස්ථානයට ඇතුල් කර නොගන්නා අතර ඒ වෙනුවට පොලිස් ස්ථානය ඉදිරිපිට සිට දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පැමිණිලි භාර ගැනීම ආදී සේවා සපයනු ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/2582948301966055/