පොලිස් නිලධාරීන් යට කළ ටිපර් රියැදුරු රිමාන්ඩ්

හක්මනදී පොලිස් නිලධාරියෙකුට මරු කැඳ වූ ටිපර් රථ රියැදුරු ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ්

by Staff writer 15-07-2020 | 4:07 PM

COLOMBO (News 1st) - හක්මන, කෝංගල 13 කණුව මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කර පළාගිය ටිපර් රථ රියැදුරු ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, රාජකාරී නිලධාරින් සුළු හා බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අන්තරාදායක ලෙස රිය පැදවීම, විරුද්ධ මාර්ගයේ ගමන් කිරීම යන රථ වාහන වැරදි සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණි. පෙරේදා රාත්‍රී 11.00 ට පමණ සිදු කළ එම අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත. අනතුරින් මිය ගියේ, හක්මන පොලිස්ථානයට අනුයුක්ත 36 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකි. ඊයේ දහවල් හුංගම, රනාල ප්‍රදේශයේ අත්අඩංගුවට ගැනුණු සැකකරු උහපිටගොඩ, අම්බලන්තොට පදිංචිකරුවෙකි.