පාර්ලිමේන්තුවේ ආරක්ෂක පෙරහුරුවක්

පාර්ලිමේන්තුවේ ආරක්ෂක පෙරහුරුවක්

by Staff writer 14-07-2020 | 9:25 PM
COLOMBO (News 1st) : හදිසි තත්ත්වයකට මුහුණ දීම අත්හදා බැලී‍‍‍මේ වි‍‍‍ශේෂ වැඩ සටහනක් අද පාර්ලි‍‍‍මේන්තු සංකීර්ණ‍‍යේදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි ඒකාබද්ධ ආරක්ෂක අත්හදා බැලීමක් සිදුකළේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට බවයි. සාමාන්‍ය පාර්ලි‍‍‍‍මේන්තු දිනයක ‍විවාද අරම්භ වන ආකාරයෙන් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සභාවේ කටයුතු ආරම්භ කර තිබිණ. එහිදී සාමාන්‍ය පාර්ලිමේන්තු විවාදයක පුනරූපණයක් සිදුකර ඇති අතර, විවාදය අතර තුර සිදුවන ආපදාවක්, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමක්, හදිසි ප්‍රභූ ආරක්ෂක වැඩ පිළිවෙළක් සිදුකළ යුතු ආකාරය මෙහිදී අත්හදා බලා තිබේ. පාර්ලිමේන්තුවේ ස්ථාපිත මෙහෙයුම් මැදිරියක සිට අදාළ මෙහෙයුම් නිරීක්ෂණයටත් මෙහිදී පියවර ගෙන තිබිණ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ අනුමැතිය යටතේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් වරයාගෙන් සිදුකළ ඉල්ලීමක් මත මෙම වැඩ සටහන සකස් කෙරිණ. මෙම වැඩ සටහනට ශ්‍රී ලංකා යුද හමුදාව, මෙන්ම නාවුක හා ගුවන් හමුදාව ද, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, බුද්ධි අංශ, ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු අංශ දායකවී තිබේ. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, හතරවැනි කමාන්ඩෝ රෙජිමේන්තුව මෙහිදී මූලික කාර්යභාරයක් ඉටු කළ බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/277023523584950/