දිනෙන් දින වැඩි වන පරිසර විනාශය..!

දිනෙන් දින වැඩි වන පරිසර විනාශය..!

by Staff writer 14-07-2020 | 9:43 PM
COLOMBO (News 1st) : පරිසර ප්‍රශ්න ගණනාවක් මේ දිනවල සමාජයේ කථාබහට ලක්වෙලා තිබේ. ගලකිස්ස වෙරළේ වැලි මුහුදට ගසාගෙනයාම, චක්‍රලේඛයක් අහෝසිකර අවශේෂ වනාන්තර හිතුමතේ බෙදාදීමට උත්සාහ දැරීම, බලපත්‍ර නොමැතිව කරන වැලි ජාවාරම මේ කිහිපයකි. තාවකාලික පිළියම් යෙදුවත් පරිසරය සම්බන්ධයෙන් මතුවූ අවදානම තවමත් පහව ගොස් ඇති බවක් පෙනෙන්නට නොමැත. අම්පාර දමන , අම්බලන්ඔය ගමේ ජීවත්වන ජනතාව ඒ අවට පවත්වාගෙන යන ගල්කොරි නිසා විඳින පීඩා අප පසුගිය දා අනාවරණය කළේ ය. ගල් කොරි පවත්වාගෙන යන මෙම ප්‍රදේශයේ පිහිටි නිවාස සංඛ්‍යාව පනහකට අධිකවේ. මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ දමන ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ පැමිණ තිබේ. එහිදී ගල්කොරිය නවතාදමන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා උපදෙස් දුන්නද එහි සේවකයින් ඊයේ රාත්‍රියේ යළිත් බෝර දමා ගල් කැඩීම සිදුකළ බව ප්‍රදේශවාසීහු පවසති. ගම්වාසීන් පවසන්නේ මේ ගල් කොරි නිසා බිත්ති ඉරි තලා යාම්, වගේම දරුවන්ට වැළඳෙන ලෙඩ රෝගවල ද අඩුවක් නොමැති බවයි. වන රක්ෂිත ඉඩමක් වන මෙම ප්‍රදේශයේ ගල් කොරිවලට අවසර ලබා දීමේදී සැලකිය යුතු කරුණු, අනුගමනය කර ඇත්තේ ද යන්න දැන් ගැටලු සහගත තත්ත්වයකි. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ හේතුවෙන් ගම්මානයේ උල්පත් සිඳී ගොස් ගොවිතැනට ද බාධා මතුව ඇති බවයි. ගල්කොරියේ වැඩ නවතා දමන ලෙස දැනුම්දුන් පසුවත් එය ක්‍රියාත්මක වීම පලිබඳව ප්‍රාදේශිය ලේකම්වරයා අද දමන පොලීසියට ලිඛිතව දැනුම්දී තිබේ. එම දැනුම්දීම අනුව පැමිණි දමන පොලීසිය එම ස්ථානයට ගොස් ගල්කොරියේ වැඩ නවත්වන ලෙස දැනුම්දී තිබේ. පොලීසියේ දැනුම්දීමට අවනතව මේ පරිසර විනාශය නවතියිද? මේ අතර ගිරිඋල්ල රිල්ඔලුව සහ ඇපලදෙණිය ගම්මානවල කුඹුරු ඉඩම්වලට මායිම්ව ඇති භූමියේ පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බව අනාවරණය වේ. ගම්මානය මැදින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයට යටින් ඇති භූමියේ මහා පරිමාණ මැටි කැපීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකවෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිටයි. අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති කුඹුරුවල රැඳෙන ජලය බැසයාම සඳහා කාණු කපන බව අදාළ කොන්ත්‍රාත්කරුවන් පැවසුව ද සිදුව තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. කුඹුරුවලට ජලය ලබාගන්නා කුඩාඔයේ ඉවුර ආසන්නයටම පාරිසරික හානි රැසක් සිදුකරමින් විශාල කාණුවක් කපමින් මැටි රැගෙන යාම සිදුවේ. ගම්වැසියන් පවසන්නේ දෛනිකව ටිපර් රථ 30 කට ආසන්න ප්‍රමාණයක් එකවර පැමින මෙලෙස මැටි රැගෙන යන බවයි. ගිරිඋල්ල පොලීසිය මෙම ස්ථානයට ඊයේ පැමිනියේ ප්‍රදේශවාසීන් කළ පැමිනිල්ලකට අනුවයි. ඒවන විටත් එම ස්ථානයේ අදාල කොන්ත්‍රාත් කරුවන් මැටි කපමින් සිටියේ ය. ගිරිඋල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බවයි. අදාළ පුද්ගලයින් සතුව තිබී පස්කැපීමට භාවිත කළ බැකෝ යන්ත්‍රයක් සහ ටිපර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.