නාකොටික් නිලධාරීන් ගැන විනය පරීක්ෂණයක් ඉල්ලයි

චෝදනා ලැබ සිටින නාකොටික් නිලධාරීන් ගැන වැඩබලන පොලිස්පතිගෙන් විනය පරීක්ෂණයක් ඉල්ලයි

by Staff writer 14-07-2020 | 11:42 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිළිබඳ විනය පරීක්ෂණයක් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, එම පරීක්ෂණය පොලිස් විශේෂ විමර්ශන ඒකකය හරහා සිදු කරන ලෙසයි. අදාළ චෝදනාව යටතේ, මේ වනවිට පොලිස් නිලධාරීන් 18 දෙනෙකුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පොලීසිය පැවසුවේ, එම නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරුන් 02, උපපොලිස් පරීක්ෂකවරුන් 3 ක්, පොලිස් සැරයන්වරුන් 05 දෙනෙක් සහ කොස්තාපල්වරන් 8 දෙනෙකු වන බවය. සැකකාර නිලධාරීන්ගේ බැංකු ගිණුම් ඇතුළු සෙසු වත්කම් සම්බන්ධයෙන් ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලීසිය පැවසුවේ ය. මේ අතර පොලීසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සෙසු නිලධාරීන් අදාළ ජාවාරමට සම්බන්ධදැයි නිරන්තර අවධානයෙන් පසුවන බවයි. එසේ සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන් වේ නම් ඔවුන් වහාම නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය පැවසුවේ ය.