තැපැල් ඡන්දය අද ඇරඹේ

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ තැපැල් ඡන්දය අද ඇරඹේ

by Staff writer 13-07-2020 | 7:47 AM

COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වේ.

ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට හා සෙසු සේවකයින්ට අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි. කෙසේ වෙතත් පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිමින් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ ය. නිරෝධායන කඳවුරුවල රාජකාරියේ නියුතු හමුදා භටයින්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම්වලට නිරීක්ෂකයන් යැවීම පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද සභාපතිවරයා පවසයි. තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවන ඡන්ද දායකයින් සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් සැලසුම් සකස් කර ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය. මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 1000 ක් පමණ යෙදවීමට අපේක්ෂා කරන බවයි. 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනිදා පැවැත්වේ. මේ අතර තැපැල් ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පැවැත්වෙන ස්ථාන අවට විශේෂ ජංගම සංචාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.