රාජාංගනයේ ආරක්ෂාව තර කෙරේ

රාජාංගනයේ ආරක්ෂාව තර කෙරේ: රජයේ කාර්යාලවල සේවා සීමා කෙරේ

by Staff writer 13-07-2020 | 7:15 PM

COLOMBO (News 1st) - මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2631 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද දිනයේ වාර්තා වූ අසාදිතයින් 14 සමගිනි. අද උදෑසන වනවිට රෝහල්ගත කර තිබූ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන 112 කි. කොරෝනා 106 දෙනෙකු ඊයේ හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් 76 දෙනෙකු ඊයේ කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්, බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටින දෙදෙනෙක්, පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයින් 14 ක්, බෙලරූස් සිට පැමිණි 5 දෙනෙක්, ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයින් දෙදෙනෙකු ඊයේ හඳුනාගත් අසාදිතයින් අතර වේ. මේ වනවිට ආසාදිතයින් 625 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ ගණන 1981 කි. ආසාදිතයින් රැසක් වාර්තා වූ රාජාංගනය ප්‍රදේශයේ මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර රජයේ කාර්යාලවල සේවා සීමාකර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙකු ආශ්‍රය කළ පුද්ගලයින් 33 දෙනෙකු ඊයේ දින 14 ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙන්නේ, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බැදිවැව 8 කොටස, සංඝබෝධීගම සහ ස්වාගම යන ප්‍රදේශවල පිරිසකි. අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පිරිස පවුල් 9 ක සහ පෞද්ගලික ව්‍යාපාර ස්ථානයක සිටි පුද්ගලයින් බවය. පොළොන්නරුව, උණගලාවෙහෛර රජ මහා විහාරය ද නිරෝධායන ස්ථානයක් බවට පත්කර ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. ඒ, එම විහාරස්ථානයට පැමිණි පුද්ගලයෙකු අසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙනි. කන්දකාඩු යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළුන් දෙදෙනෙකු අසාදිතයින් බවට තහවුරුවීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය දියවිද්දගාම හා සේරුපිටිය යන ගම්මානවල ඔවුන්ගේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. ඔවුන් දෙදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව ඇති අතර නිවාඩු ලබා පැමිණ නැවත හමුදා කඳවුරට වාර්තා කිරීමෙන් පසු ආසාදිත බවට තහවුරුව ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. මේ අතර එම ගම්මාන දෙකේ අශ්‍රිතයින් රැසක් අද පී.සී.ආර් පරීක්ෂණට ලක් කෙරුණි. තව ද උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, එහි රාජකාරියේ නියුතු නිලධාරියෙකු කොරෝනා ආසදිතයෙකු ඇසුරු කිරීම මත පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති බවය. එම නිලධාරියාගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා ඇතැයි ඔහු පැවසුවේ ය. අසාදියෙකු වාර්තා වූ නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ජනතාව ඊයේ සහ අද සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/2413003438998281/