එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

by Staff writer 13-07-2020 | 5:50 PM

News 1st - එංගලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

එංගලන්තයේ, සවුත්හැම්ප්ටන්හිදී මෙම තරගය පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 67 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 204 කි. බෙන් ස්ටෝක්ස් පන්දු 97 කින් ලකුණු 43 ක් ලබාගත් අතර ජොස් බට්ලර් ලකුණු 35 යි. විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ශෙනොන් ගේබ්‍රියෙල් ලකුණු 62 ට කඩුලු 4ක් දවාගත්තේ ය. සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් පන්දුවාර 102 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 318 කි. සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් ලකුණු 65 ක් රැස් කළේ ය. ශේන් ඩොව්රිච් ලකුණු 61 යි. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් ලකුණු 49 ට කඩුලු 4 ක් දවාගත් අතර ජේම්ස් ඇන්ඩසන් ලකුණු 62 ට කඩුලු 3 කි. ලකුණු 114 ක් පසුපසින් හිඳිමින් සිය දෙවෙනි ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායම පන්දුවාර 111 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 313 කි. ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි සිය ටෙස්ට් දිවියේ පළමු අර්ධ ශතකය ලබාගනිමින් ලකුණු 50 ක් රැස් කළේ ය. සැක් ක්‍රවුලි ලකුණු 76 යි. එම ඉනිමේදී ද කෙදෙව් කණ්ඩායමේ ශෙනොන් ගේබ්‍රියෙල් කඩුලු 5ක් දවාගැනීමට සමත් වීම විශේෂත්වයකි. ලකුණු 200 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවූයේ නැත. කෙසේ නමුත් විශිෂ්ට පිතිහරඹයට නිරත වූ ජෙරමානි බ්ලැක්වුඩ් රැස් කළ ලකුණු 95 ත් සමග පන්දුවාර 64 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට කොදෙව් කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් ලකුණු 45 ට කඩුලු 3 කි. තරගයේ වීරයා කොදෙව් කණ්ඩායමේ ශෙනොන් ගේබ්‍රියෙල්. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 - 0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.