ETI ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

ETI ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි: අමාරුවේ වැටුණු ගනුදෙනුකරුවන්ට මොකද වෙන්නේ?

by Staff writer 13-07-2020 | 7:46 PM

COLOMBO (News 1st) : ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන සමාගම්වල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය අනුව මෙම තීරණය ගෙන තිබේ. 2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය මේ වනවි‍ට බංකොලොත්භාවයට පත්ව ඇති බව මහ බැංකුව නිවේදනය කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වුනේ, ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශ අනුව සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය අපොහොසත් වූ බවයි. එම නිසා 2018 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමණාකාර මණ්ඩලයක් පත් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබුණි. මුදල් මණ්ඩලයේ විධානයන් මගින් ආයතන දෙකෙහිම අධ්‍යක්ෂවරුන් වෙත එකී ආයතන යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයින් ඉදිරිපත් කිරීමට නියම කර තිබුණ ද ක්‍රියාවට නැංවිය හැකි කිසිදු සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ බව මහ බැංකුව පවසයි. එම ආයතනයන්හි මූල්‍ය තත්ත්වයද ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයකට වර්තමානය වනවිට ආයතන දෙකම පත් වී ඇති බව මහ බැංකුවේ අදහසයි. මෙ‍‍ම ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බව මහ බංකුව පැවසුවේ ය. මේ අතර ETI තැම්පත්කරුවන් පිරිසක් අද බොරැල්ලේ පිහිටි ETI ප්‍රධාන කාර්යාලය අසළට පැමිණ සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/3594731680542980/