එකම පවුලේ දැරියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන යයි

මග්ගොනදී මුහුදට ගසාගෙන ගිය එකම පවුලේ දැරියන් දෙදෙනෙකු අතුරුදන්

by Staff writer 13-07-2020 | 5:37 PM

COLOMBO (News 1st) - බේරුවල, මග්ගොන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටියදී සහෝදරියන් දෙදෙනෙකු අද පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් දෙදෙනා මෙතෙක් සොයා ගෙන නොමැති බවයි. අද පස්වරුවේ බේරුවල ජුම්මා දේවස්ථානය පිටුපස වෙරළ තීරයට මෙම පිරිස පැමිණ තිබුණේ එහි විනෝදවීමේ අරමුණිනි. මුහුදු රළ පාගමින් සිටියදී හදිසියේ පැමිණි රළ පහරකට සහෝදරියන් තිදෙනෙකු සහ ඥාති පිරිමි දරුවෙකු හසුවී ජලයේ ගසාගෙන ගොස් ඇතැයි සඳහන් වේ. පසුව ඥාතියෙකු පිරිමි දරුවා බේරාගැනීමට ජලයට බැස ඇති අතර ඔහු ද රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණි. එම පුද්ගලයා සහ පිරිමි දරුවෙකු බේරාගෙන නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ ඒ අසළ සිටි පිරිසකි. රළ පහරට හසුව ගසාගෙන ගිය දැරියන් සොයා ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. බේරුවල, කෝපියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම දෙදෙනාගේ වයස අවුරුදු 15 ක් සහ 13 කි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.