විසඳුමක් පේන මානයේ නැති කැලිඩෝ වෙරළ තීරයේ ගැටලුව

විසඳුමක් පේන මානයේ නැති කැලිඩෝ වෙරළ තීරයේ ගැටලුව

by Staff writer 12-07-2020 | 10:16 PM

COLOMBO (News 1st) : කළුතර බෝධිය ආසන්නයේදී අද විරෝධතාවක් පැවැත්විය.

ඊට එක්ව සිටි පිරිස පැවසුවේ, දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය නිසා කළුතර බෝධියට ද බලපෑම් එල්ල වී ඇති බවය. කැලිඩෝ , අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීර සංවර්ධනය කිරීමේ අරමුණින් දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය ආරම්භ විය. කෙසේ වෙතත් ව්‍යාපෘතියේ බලපෑමෙන් මේ වනවිට කළුතර කැලිඩෝ වෙරළ තීරය ද මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතී. කළුතර කැලිඩෝ වෙරළ තීරය අවට ජනතාව පීඩාවට පත්ව සිටින්නේ මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙනි. ඔවුන් පැවසුවේ ඉකුත් වසර කිහිපයේ කැලිඩෝ වෙරළ තීරයේ සිදු කළ ව්‍යාපෘතිවල බලපෑම මෙයට ප්‍රධානම හේතුව බවය. මේ පිරිස විරෝධතාවෙන් පසු කැලිඩෝ වෙරළ තීරය තවදුරටත් පිරික්සා බැලූ අතර හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද එහි පැමිණියේ ය. පාලිත තෙවරප්පෙරුම මහතා මෙහිදී දුරකථන ඇමතුමක් ලබාගත්තේ ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා ය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා
"වැලි කන්ද උඩින් වතුර ගහනවා අයියේ මේ ගෙවල් ඔක්කොම යටවෙලා. දැන් මේ පවුල් 150ක විතර මිනිස්සුන්ට ඉන්න විදියක් නැතුව ඉන්නවා වතුර දාලා. මුහුද පැත්ත හාර හාර වැලි ගොඩ ගහනවා. ඒක ආයේ වතුර වලින් පිරෙනවා. මේක නිකං මට ඌ ගහනවා, ඌ මට ගහනවා වගේ වැඩක්නේ. මේක මේ කිසි ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතියක්. ඔබතුමා බැලුවේ නැද්ද. ලේකම්තුමා. ලේකම්තුමා තිබ්බා. දිස්ත්‍රික් ලේකම්තුමා තිබ්බා . කට් කළා. ඔන්න රටේ සංවර්ධනයයි බලධාරීන්ගෙයි හැඩේ. දැන් ඉතින් ආයේ ගන්නේ නෑ ජීවිතේට" කොටස් 3කින් යුතු දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරය සංවර්ධනය කිරීමට කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 890 කි.
ව්‍යාපෘතිය ලබාදී තිබුණේ, ඩෙන්මාර්කයේ රෝඩ් නිල්සන් ආයතනයට ය. වැලි පිරවීමෙන් පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිර්මාණ හා පර්යේෂණ ප්‍රධාන ඉංජිනේරුවරයා සකස් කළ බව පෙනී යන මෙම වාර්තාවෙහි ව්‍යාපෘතියේ ගෙවීම් කර ඇත්තේ කවර අංශ සඳහා දැයි පැහැදිලිව සඳහන් වී නොමැත. බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියාරච්චි සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ඩී. වෝස් සහ නාඩියා අස්මි සකස් කර ඇති වාර්තාවෙන්ද හෙළි කර ඇත්තේ ප්‍රමාණවත් සැලසුම් කිරීමකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවය. ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තාවට අනුව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය මෙන්ම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරන බව සඳහන් ය.