අඟුලානේ වෙඩි තැබීම: විනය පරීක්ෂණයේ වාර්තාව අද

පොලිස් වෙඩි පහරින් අඟුලානේදී මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

by Staff writer 12-07-2020 | 8:09 AM

COLOMBO (News 1st) - අඟුලානේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන්, හෙට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විනය පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිත බවය. අදාළ පරීක්ෂණය ක්‍රියාත්මක කෙරුණේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙනි. එම වාර්තාව පදනම් කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය. අඟුලාන, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා පොලීසිය කළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සහ පොලීසිය අතර බහින්බස්වීමක් සිදුව තිබුණි. එහිදී පොලීසිය කළ වෙඩි තැබීමකින් 39 හැවිරිදි එම පුද්ගලයෙකු මිය ගියේ ය. මේ අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දුන් බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, හිසට සිදු වූ වෙඩි වැදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවයි. මරණ පරීක්ෂණ කළුබෝවිල රෝහලේදී ඊයේ සිදු කෙරුණි.