පිටිපන පාතාල අවි ගබඩාවේ ගිනිඅවි රස පරීක්ෂක වෙත

පිටිපන පාතාල අවි ගබඩාවේ ගිනිඅවි රජයේ රස පරීක්ෂක වෙත

by Staff writer 12-07-2020 | 12:28 PM

COLOMBO (News 1st) - හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පාතාල අවි ගබඩාවෙන් සහ ඉන් පසු සොයා ගැනුණු ගිනිඅවි ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට තීරණය කර තිබේ.

පොලීසිය පැවසුවේ, පාතාල අවි ගබඩාවෙන් පළමුව T 56 වර්ගයේ ගිනි අවි 12 ක් සිය භාරයට ගත් බවය. ඉන් පසු අවස්ථා දෙකකදී සිදු කළ විමර්ශනවලින් තව ත් T 56 ගිනිඅවි තුනක් ඇතුළුව ගිනිඅවි කිහිපයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. පොලීසිය පැවසුවේ, සැකකරුවන්ට අයත් T 56 ගිනිඅවි සඳහා යොදන උණ්ඩ 750 කට අධික ප්‍රමාණයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සිය භාරයට ගෙන ඇති බවය. අදාළ ගිනිඅවි රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර එම ගිනිඅවිවල අංක තහවුරු කර ගැනීමට සහ එම ගිනිඅවි භාවිතයට ගෙන තිබේ ද යන්න විමර්ශනය කරන බව ද පොලීසිය පැවසුවේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිනිඅවි සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ අදාළ ගිනිඅවිවල අංක සම්පුර්ණයෙන් මකා දමා ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරියෙක් ඇතුළු 4 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරයි.