තත්ත්වය අයහපත් වුවහොත් යළි පාසල් නිවාඩු දෙනවා

පවතින තත්ත්වය අයහපත් වුවහොත් යළි පාසල් නිවාඩු දෙනවා - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 12-07-2020 | 1:23 PM

COLOMBO (News 1st) - පවතින කොරෝනා තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත්, සියලු පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිලිව මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රට තුළ පවතින වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, සිසුන් , ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගන්නා බවයි. ඒ ඒ ප්‍රදේශ මට්ටමින් පවතින තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙන අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ එම කටයුතු අධීක්ෂණය වේ. ඒ අනුව 1988 ක්ෂණික ඇමතුම් අංකය අමතා විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශය පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි වේ.