සිංගප්පූරු මැතිවරණයෙන් People's Action Partyට ජය

සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂයට ජය

by Staff writer 11-07-2020 | 8:32 AM

COLOMBO (News 1st) : සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඒ, එරට පාර්ලිමේන්තුවේ ආසන 93 න් 83 ක බලය හිමිකර ගනිමින් ය. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 61.2% කි. ඒ අනුව 2015 වසරේ පැවති මහ මැතිවරණයට සාපේක්ෂව බලන කල්හි මෙවර මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂයට බහුතර බලය අහිමි ගොස් ඇති බව පෙනී යයි. 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂය 70% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බහුතර බලය හිමි කර ගත්තේ ය. විපක්ෂය ලෙස සිංගප්පූරු මහ මැතිවරණයට ඉදිරිපත් වූ කම්කරු පක්ෂය ඉතිරි ආසන 10 ජයග්‍රහණය කර තිබේ. ඒ, ඉතිහාසයේ ඔවුන් ලබාගත් වැඩිම ආසන ගණන සටහන් කරමින් ය. කොරෝනා වෛරසයේ අවදානම හමුවේ මෙවර මැතිවරණය පැවැත්වූයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්වලට අනුගතවයි. මෙවර බොහෝ මැතිවරණ විචාරකයින් සිංගප්පූරු මහ මැතිවරණය කොරෝනා වෛරසයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ කළ ජනමත විචාරණයක් ලෙස හැඳින්විය. 1965 වසරේ සිට මේ දක්වා එරට පාලන බලය හොබවන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ලී සෙන් ලොන්ග් ප්‍රමුඛ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. 3 වරක් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඔහු ඉකුත් 2004 වසරේ සිට එම ධුරයේ කටයුතු කරයි. ලී සෙන් ලොන්ග්, සිංගප්පූරුවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූගේ වැඩිමහල් පුත්‍රයායි. සිංගප්පූරුවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45,614 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව 26 කි.