ස්වර්ණා වෙනුවෙන් යළි ඉදිවූ අහිමි සෙවණ

ස්වර්ණා වෙනුවෙන් යළි ඉදිවූ අහිමි සෙවණ

by Staff writer 11-07-2020 | 9:59 PM
COLOMBO (News 1st) : ''එක බිත්තියක් කඩලා ඉතිරිකරලා තිබ්බා නම් අපිට ආපහු හදා ගන්නහරි තිබ්බා. දැන් දැන් මේ තහඩු කැලී ටිකත් විනාශ කරලා දැම්මා උළු ටිකත් ඉවරයි. ගෙදරත් කිසිම බඩුවක් නෑ. මේ වෙලාවේ අපිට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගෙඩාක් පිං මේ වෙලාව තමයි අපිට උදව් ඕන වෙලාව'' හිසට සෙවණ දුන් ඒ නිවස,, වන අලියෙකු විසින් කඩා දැමීම නිසා මහියංගනය ගුරුකුඹුර ගම්මානයේ සවර්ණා මල්කාන්ති ගෙයක් හදලා දෙන්න කියලා එදා මුළු ලෝකයෙන්ම ඉල්ලීමක් කළා ය. අද එම හීනය යථාර්ථයක් බවට පත් වුණේ, අහිංසක ජීවිත තුනකට හිනහවක් එක් කරමිනි. මහියංගනය ගුරුකුඹුර ගම්මානයේ අජිත් කුමාර සහ ස්වර්ණා මල්කාන්ති.. හදිසියේ කඩා වැදුණු වන අලියෙකු, ඔවුන්ගේ නිවස විනාශ කළේ පසුගිය අප්‍රේල් මස18 වැනිදා රාත්‍රියේයි. නිවසට සීමාවී සිටිය යුතු කොරෝනා කාලේ පොල් සම්බොලයක් සමග හෝ කෑමට තිබු සහල් ටික ද වන අලියාට බිලි විය. සිගිති දරුවා ද සමගින් යන එන මං නැතිව ඔවුහු අසරණ වූහ. කඩා දැමු නිවසේ ටකරන් කිහිපයක් රැගෙන, ඒ අසල ගසක් යට අටවා ගත් පැලක ඔවුන් ජීවත් විය. මේ පිළිබඳව නිවුස් ෆස්ට් කළ අනාවරණයෙන් පසු නව නිවසක් ඉදිකර දීමට දිවංගත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වන අයිරාගනී වර්ණකුලසූරිය මහත්මිය ඉදිරිපත් වුණේ, මේ අහිංසක මිනිසුන්ගේ සිහිනය සැබැ කරමිනි. පසුගිය මස 11 වෙනිදා ඒ නිවස හදන්න මුලගල් තැබිණ. දිවංගත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දෙවර්ෂ පූර්ණය සිහපත් කරමින් මේ පුංචි පවුලට අලුත් නිවසක් හදලා දෙන්න ගම්මැද්දට හැකියාව ලැබිණ. මේ අවස්ථාවට මහා සංඝරත්නය හා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ද එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/269650524321496/