මාධ්‍යවේදියාට බාධා කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

රංගජීව මාධ්‍යවේදියෙකුට බාධා කිරීම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පරීක්ෂණයක් ඉල්ලයි

by Staff writer 11-07-2020 | 9:34 PM
COLOMBO (News 1st) : අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරික්ෂණයක් සිදුකරන්නැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ අදාළ මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ,නිල මාධ්‍යවේදී හැඳුනුම්පත හිමි අයෙකු බවයි එම හැඳුනුම්පත හිමි මාධ්‍යවේදියෙකුට සිය නීත්‍යනුකූල රාජකාරිය බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව හා සහයෝගය සලසා දීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බවට එම හැඳුනුම්පත මගින් රජය සහතික කර තිබේ. ඒ අනුව මෙම සිදුවීමෙන් අදාළ මාධ්‍යවේදියාගේ වෘත්තීය අවස්ථා දැඩි ලෙස උල්ලංඝනය වී ඇතැයි නිරික්ෂණය වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. පරික්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ පිටපත් ජනමාධ්‍ය අමාත්‍යවරයාට, එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට , ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අග්‍රමාත්‍ය මාධ්‍ය අංශ ප්‍රධානී වෙත යොමු කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මාධ්‍යවේදියාට බාධා කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද මඩකලපුව නගරයේදී විරෝධතාවක් පැවැත්විණ. නැගෙනහිර පළාත් දමිළ මාධ්‍යෙව්දීන්ගේ සංවිධානය සහ මඩකළපුව මාධ්‍යවේදීන්, මෙය සංවිධානය කර තිබිණ. https://www.facebook.com/NewsfirstSL/videos/2793519584210113/