කන්දකාඩු ආසාදිතයා වැලිකඩින් මතුවූ හැටි...

කොරෝනා වැළඳුණු කන්දකාඩු ආසාදිතයා වැලිකඩින් මතු වූ හැටි.... මුල සිට අගට

by Sagarika Chathumali 11-07-2020 | 7:28 PM

?කන්දකාඩු රැඳවියාට වැලිකඩදී කොරෝනා ?කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවකටත් කොරෝනා ?වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා ?රාජාංගනයෙන් තවත් ආසාදිත උපදේශකයෙක් ?රාජාංගනය උපදේශකගේ දරු දෙදෙනාටත් කොරෝනා ?කන්දකාඩු ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක් කළේ ඇයි?

 

COLOMBO (News 1st) : කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් උපදේශකවරයෙකුට සහ ඔහුගේ දරු දෙදෙනාට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු විය.

  කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, උපදේශකවරයාගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. එහිදී යුද හමුදාපතිවරයා විදෙස් රටවල සිට පැමිණි අය අතරින් ආසාදිතයින් හමුවූ පසුබිමකදී එකවරම පසුගිය 7 වැනිදා වැලිකඩ බන්ධනාගරයෙන් අසාදිතයෙකු මතුවීම හා සම්බන්ධ සිද්ධිමාලාව පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේ ය. ඒ අනුව කන්දකාඩු මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු පසුගිය 27 වනදා නඩු කටයුත්තක් සඳහා වැලිකඩ බන්ධාගාරයට රැගෙන විත් ඇති අතර පළමු වන දා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහු අදාළ නඩු කටයුත්තට ඉදිරිපත් කර ඇත. ඒ යටතේ එලෙස පිටත් කර හැරීමට සූදානම් වූ 40 දෙනෙකු PCR පරීක්ෂණයට භාජනය කර ඇති අතර එම අවස්ථාවේ මෙම රැඳවියාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. යුද හමුදාපතිවරයා පැවසුවේ, බන්ධනාගරයට රැගෙන ආ සියලු දෙනා යළිි පිටත් කර හැරීමට පෙර අනිවාර්යෙන් PCR පරීක්ෂණට භාජනය කළ යුතු බැවින් පසුගිය 3 වනදා මෙම පිරිස PCR පරීක්ෂණයට භාජනය කළ බවයි. ඒ අනුව පසුගිය 7 වෙනිදා මෙම ආසාදිතයා වැලිකඩ බන්ධනාගරයෙන් හමු විය. පසුගිය 27 වන දා සිට 4 වන දා දක්වා ආශ්‍රිත රැඳවියන් 312 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු වී තිබේ. එම කාලය තුළ වෙනත් බන්ධනාගරවලට යොමු කළ තවත් 240කට ආසන්න පිරිසක් PCR පරීක්ෂණවලට යොමු කර ඔවුන්  නිරෝධායනයට ද යොමු කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. තවද  අධිකරණ නියෝග මත බන්ධනාගරයෙන් නික්ම ගිය තවත් 62 දෙනෙකු ද වහාම කැඳවා නිරෝධායනයට යොමු කිරීමට ක්‍රියා කර

තිබේ.

වැලිකඩ තවත් රැඳවියෙකුට ත් කොරෝනා... 

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අඛණ්ඩව රැඳවියන්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී මුලින් හමුවූ රැඳවියා සමග එම වාට්ටුවේ සිටි එහෙත් පසුව වෙනත් කටයුත්තකට (කෑම බෙදීම) යොමු කර සිටි රැඳවියෙකු ආසාදිතයෙකු ලෙස ඊයේ (10) හඳුනා ගැනිණ. කෙසේ වෙතත් මේ වනවිට සියලු කණ්ඩායම් නිරෝධායනයට යොමු කරමින් සහ තවදුරටත් PCR පරීක්ෂණ සිදු කරමින් වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව තත්තවය පාලනය කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්වභාවය...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්වභාවය සම්බන්ධයෙන් ද යුද හමුදාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේ ය. යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයට යාබදව රැඳවියා හමුවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටා ඇත. තව ද යුද හමුදාපතිවරයා අද අවධාරණය කර සිටියේ, දැනට හමුවූ මෙම ආසාදිතයින් සියලු දෙනා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මිස නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූවන් නොවන බවයි. කන්දකාඩු පුනරුත්පථාන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යයට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මෙරට පිහිටි විශාලතම පුනරුත්ථාපනය මධ්‍යස්ථානය වන අතර රැඳවියන් ද ඇතුළුව එහි සිටින සමස්ත පිරිස 1140ක් පමණ වේ. යුද හමුදාපතිවරයා පැවසුවේ, මින් 220ක් හැර අන් සියලු දෙනා මේ වනවිට PCR පරීක්ෂණවලට භාජනය කර ඇති බවයි. ඉතිරි පිරිසේ PCR නිසි දින කිහිපය සම්පූර්ණ කළ පසු සිදු කළ යුතුව ඇති බැවින් ඔවුන් නිරෝධායනය යොමු කර නිසි කාලය සම්පූර්ණ වූ වහාම PCR පරීක්ෂණයට භාජනය කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. තව ද පුනරුත්ථාපනයට උපදේශනය සඳහා පිටතින් පැමිණෙන උපදේශකයින් ද ඇතුළුව නිවාඩු ගොස් සිටින සියලු දෙනා කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. ඊට අමතරව ඔවුන්ගේ නිවෙස්වල අයට ද ස්වයං නිරෝධායනට ලක් වන ලෙස උපදෙස් දී ඇත.

පුනරුත්ථාපනය වන රැඳවියන් බැලීමට පවුලේ සාමාජිකයින්ට අවස්ථාව... 

මේ අතර පසුගිය 4 වෙනිදා මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පිරිස් දැක බලා ගැනීම සඳහා ඔවුන්ගේ පවුල්වල 116 දෙනෙකුට අවස්ථාව ලබා දී තිබිණ. යුද හමුදාපතිවරයා පැවුසවේ, සාමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය උපදෙස් මත ඔවුන්ට මෙම අවස්ථාව ලබා දුන් බවයි. කෙසේ වෙතත් එම පුද්ගලයින් 116 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සියලු පිරිස් ද මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ.

නාත්තණ්ඩියෙන් හමුවූ ආසාදිත උපදේශිකාව...

වැලිකඩදී ආසාදිතයා හමුවීමත් සමග පළමු දිනයේ ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිස් PCR පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය අංශ ක්‍රියා කළ අතර එහිදී 57 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගැනිණ. ඉන් 56 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටි අය අතරින් ද අනෙක් ආසාදිත කාන්තාව නිවාඩු ගොස් සිටි නාත්තන්ඩිය ප්‍රදේශයේ උපදේශිකාවක බව තහවුරු විය. අදාළ කාන්තාව සිය මව පියා සමග නිවසේ පදිංචිව සිට ඇති අතර පසුව උපදේශිකාව IDH රෝහලට ඇතුළත් කර ඇයගේ දෙමව්පියන් වහාම නිරෝධායනයට යොමු කර තිබේ. ඇයගේ පියා මේවන විට PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. තවද අදාළ කාන්තාව පදිංචි නිවස අවට අසල්වැසියන් සියලු දෙනා නිරෝධායනය යොමු කර ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

රාජාංගනයෙන් තවත් ආසාදිත උපදේශකයෙක්...

අද දිනයේ රාජාංගනයෙන් හමු වූ ආසාදිත උපදේශකවරයා පසුගිය 1 වෙනිදා උපදේශන රාජකාරියක් සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර 2 වෙනිදා උදෑසන ඔහු අනුරාධපුරය මධ්‍යස්ථානයට පැමිණිය ද ඊට ඇතුළු නොවී එදිනම සවස අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා රාජාංගනය ප්‍රදේශයට ගොස් ඇත. රාජාංගනය යාය 5 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු යාය 3 ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා ගොස් ඇත. මේ වනවිට අදාළ උපදේශකවරයාගේ 11 හැවිරිදි සහ අවුරුදු 1 1/2ක් වයසැති දරු දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් මෙම 11 හැවිරිදි දරුවා පසුගිය 4, 6, 7 යන දිනවලදී පන්ති සඳහා සහභාගී වී ඇති අතර ඒ අනුව ළමුන් 70ක් ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත. 3 වනදා අවමංගල්‍ය උත්සවයට 350ක් පමණ පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් සියලු දෙනා හඳුනාගෙන නිරෝධායයට යොමු කර ඇති බව හමුදාපතිවරයා පැවසී ය. තවද 6 වෙනිදා පැවති දානය සඳහා පැමිණි 80ක පමණ පිරිසක් ද මේ වනවිට ස්වයං නිරෝධායනට යොමු කර තිබේ.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක් කළේ ඇයි?...

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් මේනවිට හිස්ව පවතින පසුබිමකදී කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද මෙහිදී යුද හමුදාපතිවරා පිළිතුරු ලබා දුන්නේ ය. යුද හමුදාපතිවරයා පැවසුවේ, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී සිටින මෙම ආසදිතයින් සාමාන්‍ය හැසිරීම් සහිත පිරිස් නොවන බැවින් ඔවුන් පාලනය කිරීම අසීරු කාර්යයක් බවයි. ඊයේ දිනයේ පවා ඔවුන්ගේ හැසිරීම් අධ්‍යනය කළ බවත් ඇතම් පුද්ගලයින්ගේ හැසිරීම් සාමාන්‍ය රෝහලක් තුළදී ප්‍රතිකාර කළ නොහැකි බවත් ය එබැවින් කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානය මෙම ආසාදිතයින්ට ප්‍රතිකාර කරන විශේෂ රෝහලක් පත් කෙරුණු බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.