කන්දකාඩුවේ තවත් උපදේශකයෙකුට කොරෝනා

කන්දකාඩුවේ තවත් උපදේශකයෙකුට කොරෝනා: ආශ්‍රිතයින් 300කුත් නිරෝධායනයට

by Sagarika Chathumali 11-07-2020 | 3:17 PM
COLOMBO (News 1st) : කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි තවත් උපදේශකවරයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබේ. යුද හමුදාපතිවරයා පැවසුවේ, ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි. මේ අතර කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත උපදේශිකාවක් පසුගියදා නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේයේදී හඳුනාගත් අතර ඇය මේ වනවිට කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. පසුව ඇයගේ මව සහ පියා ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබිණ. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 283 දෙනෙකු ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනිණ. පසුගිය 9 වන දා ද එම මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර එහි අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමු කළ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ පුද්ගලයින් සහ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 1150 ක පමණ පිරිසක් රැඳී සිටිති. එහි ප්‍රතිකාර ලබා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මධ්‍යස්ථානයේ සිටි සියලු දෙනා PCR පරීක්ෂාවට ලක්කෙරිණ.