බොලිවියා අන්තර්වාර ජනපතිනියටත් කොරෝනා

බොලිවියා අන්තර්වාර ජනපතිනියටත් කොරෝනා

by Staff writer 10-07-2020 | 7:50 AM

COLOMBO (News 1st) - බොලිවියා අන්තර්වාර ජනපතිනී ජීනි අනේස්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව, දකුණු අමෙරිකානු කලාපයේ කොරෝනා ආසාදනය වූ දෙවැනි නායකයා වන්නේ ඇයයි. තමා ස්වයං නිරෝධානය අතරතුර රාජකාරි කරන බව බොලිවියා ජනපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවාය. ඇය මේ වන විට 53 වැනි වියෙහි පසුවන්නීය. බොලිවියා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 4 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ද, කොරෝනා ආසාදිතයෙකු බව පසුගියදා තහවුරු විය. බොලිවියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 42,984 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,577 කි. මේ අතර, ඉතාලිය රටවල් 13 කට සංචාරක සීමා පනවා තිබේ. බංග්ලාදේශය, බ්‍රසීලය හා චිලි රාජ්‍ය ඒ අතරට අයත් වේ. මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 23 ලක්ෂ 78, 777 දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 5,56,585 කි.