අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 283ක්

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 283ක්

by Staff writer 10-07-2020 | 6:44 PM
COLOMBO (News 1st) : කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි 283 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස අද දිනය තුළ හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේ තවත් 57 දෙනෙකු හඳුනා ගත් අතර මේ වනවිට එම මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් ගනන 340කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමුකළ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූ පුද්ගලයින් සහ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 1150 ක පමණ පිරිසක් මේ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිති. එහි ප්‍රතිකාර ලබා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මධ්‍යස්ථානයේ සිටි සියලු දෙනා PCR පරීක්ෂාවට ලක්කෙරිණ. මේ වනවිට කන්දකාඩු පුනත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්කර ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත උපදේශිකාවක් පසුගියදා නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේයේදී හඳුනා ගැනිණ. ඇය මේ වනවිට කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයගේ මව සහ පියා මේ වනවිට රඳවා ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේයි. පියාගේ PCR පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වැළඳී නොමැති බව තහවුරු වූ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා පැවසී ය. ඇගේ මව නැවත PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවෙස් සහ වෙළඳසල් 9 ක 35 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ. මේ අතර කොළඹ නගරයේ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරික්ෂාවට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාව අද ප්‍රකාශ කළේ ය. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසුවේ අද, කොළඹ කාක දූපත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ PCR පරීක්ෂණ සිදුකරන බවයි. ඒ අනුව අද පුද්ගලයින් 60 දෙනෙකු PCR පරීක්ෂාව සඳහා යොමුකර ඇතැයි ඔහු සඳහන් කළේ ය. මේ අතර කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ තාක්ෂණික කමිටුව මාසයකට අධික කාලයක් රැස්වී නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අනාවරණය කළේ ය. https://www.youtube.com/watch?v=UnQ3WADEc20&feature=youtu.be