හිටපු පොලිස්පති ඉලංගකෝන්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි

හිටපු පොලිස්පති ඉලංගකෝන්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි

හිටපු පොලිස්පති ඉලංගකෝන්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි

කර්තෘ Staff writer

10 Jul, 2020 | 10:00 pm

COLOMBO (News 1st) : හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කළේ ය.

ඒ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස දක්වමින් ගොනුකර ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

අද ජනාධිපති කොමිසම හමුවේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ පැමිණිල්ල විභාග කෙරිණ.

ඔහු උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමයේ විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ මහලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට පලායාමට අධාර අනුබලදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබිණ.

ලලිත් ජයසිංහ මහතාට එරෙහි නඩුව කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ තවදුරටත් විභාග වෙමින් ඇති අතර ඔහු මේ වනවිට ඇප මත මුදැහැර තිබෙන නමුත් වැඩ තහනමකට ලක්වී සිටී.

අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ලලිත් ජයසිංහ මහතා පිළිබඳව විමර්ශන සිදුකළ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතායි.

එවක පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාග උපදෙස් මත මෙම විමර්ශනය සිදුකළ නමුත් එය සනාථ කිරීමේ ලේඛන කිසිවක් ඔහු සතුව නොමැති බව අද කොමිසමේදී අනාවරණය විය.

එන්.කේ. ඉලංගකෝන් මහතා කොමිසම හමුවට කැඳවීමට තීරණය කෙරුණේ මේ තත්ත්වය තුළයි.

ලලිත් ජයසිංහ මහතා පිළිබඳ මූලික පරීක්ෂණ සිදුකර ඇත්තේ දැනට අතුරුදහන්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා බව සාක්ෂිකරු කියා සිටියේ ය.

සිසිර තිසේරා මහතා ලබාදුන් පරස්පර ප්‍රකාශ නිසා කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඔහුට දැඩි ලෙස අවවාද කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් 2015 මැයි 25 වනදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති බී.වාර්තාව අවිධිමත් බව ද සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

සභාපතිවරයා සාක්ෂිකරුට අවවාද කරමින් දැනුම් දුන්නේ කොමිසමට අසත්‍ය ප්‍රකාශ කිරිමෙන් වළක්වන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]