by Staff writer 10-07-2020 | 9:32 PM
COLOMBO (News 1st) : විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට බල කරන මැන්ඩා මූස් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.
පෙත්සම ගොනු කළේ, කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී බෝසෙත් කලහේපතිරණ මහතායි.
එක් රැයක් තුළදී යුද හමුදා නිලධාරීන් දෙතුන් දහසක් ඝාතනය කළ තමන් කොවිඩ් 19 වසංගතයටත් වඩා දරුණු පුද්ගලයකු බවට කරුණා කළ ප්‍රකාශය මුල්කරගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
නීතිඥ යළිත් විජේසුන්දර මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ කරුණා අම්මාන්, නීතිපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයායි.
මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී කර ඇති එම ප්‍රකාශය මගින් ඔහු චේතනාන්විතව සමූහ ඝාතන කළ අපරාධකරුවෙකු බව අනාවරණ වී ඇතැයි පෙත්සම්කරු පෙන්වා දෙයි.
පෙත්සමෙන් දක්වා ඇත්තේ අදාළ ප්‍රකාශය පාපොච්චාරණයක් ලෙස සලකා ඔහුට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවයි.
සාක්ෂි ආඥා පනත , දණ්ඩනීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඔහුට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නැයි බෝසෙත් කළහේපතිවරණ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.