බුද්ධි නිලධාරියෙකු ජනපති කොමිසමට කළ හෙළිදරව්ව

පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට අවධානය යොමු කළා - බුද්ධි නිලධාරියෙකුගෙන් හෙළිදරව්වක්

by Staff writer 09-07-2020 | 9:59 PM

COLOMBO (News 1st) - පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට අවධානය යොමු කර තිබූ බව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු අද ප්‍රකාශ කර තිබේ.

මෙම නිලධාරියා පැවසුවේ, ඇතැම් සංවේදී ආරක්ෂක කරුණු පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අවධානය යොමු නොකළ බවය. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන් යුද හමුදා බුද්ධි නිලධාරියාගේ අනන්‍යතාව හෙළි කෙරුණේ නැත. ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේ, උසස් අධ්‍යාපන අවශ්‍යතාවක් සඳහා නිබන්ධනයක් සැකසීමට 2013 දී තමන් සහරාන් හමු වූ බවයි. ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් අන්තවාදී මත දරණ අයෙකු ලෙස එම අවස්ථාවේ තමන්ට අවබෝධ වූ බව කියා සිටි සාක්ෂිකරු සඳහන් කළේ, එසේ වුවත් තමන් සකස් කළ වාර්තාව ප්‍රසිද්ධ නොකළ බවය. හිටපු ජනාධිපතිවරයා ඇතැම් අවස්ථාවල ඔහුගේ නිල නිවසේ ආරක්ෂක මණ්ඩල රැස්වීම කැඳ වූ බවත් එවක අගමැතිවරයාට සහ පොලිස්පතිවරයාට එවක ආරක්ෂක ලේකම්වරයා හරහා ඊට සහභාගි නොවන ලෙස දැනුම්දී තිබූ බව ද ඔහු අනාවරණය කළේ ය. එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සිටින අවස්ථාවල ආරක්ෂක මණ්ඩලය කැඳවන බව බුද්ධි අංශ නිලධාරීන්ගේ නිරීක්ෂණය බව ද ඔහු කියා සිටියේ ය. දින 52 ආණ්ඩු වෙනසින් පසුව සිදු වූ දේශපාලන කඹ ඇදීම් නිසා ජාතික ආරක්ෂාව පහළට දැමූ බව ද යුද හමුදා බුද්ධි නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ත් කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණියේ ප්‍රකාශ ලබාදීම සඳහාය. https://www.facebook.com/NewsfirstSL/videos/966026873841831/