කහ වර්ණය අනිවාර්ය පාසල් බස් රථ සඳහා පමණයි

Update: කහ වර්ණය අනිවාර්ය ඉදිරියේදී ආනයනය කරන පාසල් බස් රථ සඳහා පමණයි

by Staff writer 08-07-2020 | 6:20 PM

Update (6.10 p.m): - කහ වර්ණය අනිවාර්යය ඉදිරියේදී ආනයනය කරන පාසල් බස් රථ සඳහා පමණක් බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මින් පෙර නිකුත් කළ නිවේදනයේදී පාසල් සිසු ප්‍රවාහන වෑන් රථ සඳහා ද කහ වර්ණය අනිවාර්ය බව සඳහන් වූයේ අතපසුවීමකින් බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ. එම නිවේදනය පහත පරිදි වේ. ================================================================================

COLOMBO (News 1st) - පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සඳහා කහ වර්ණය පමණක් භාවිත කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහනවල හිමිකරුවන් සහ පොලිස් නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ. දැනට මෙරට පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා කිසිදු ප්‍රමුඛතාවක් ලබා නොදෙන අතර එය හදිසි අනතුරුවලට ලක්වීමට පවා හේතුවක් වී ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය. ඒ අනුව ඉදිරියේදී පාසල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන කහ වර්ණයෙන් ම පමණක් ආනයනය කිරීමට ද තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මීට අමතරව අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යන පාසල් සිසුන් ප්‍රවාහන වෑන් රථ සඳහා සහන ලබාදීමට පියවර ගන්නා බවයි.