සිව් මසක නිහැඬියාවකින් පසු ක්‍රිකට් තරග යළි ඇරඹේ

සිව් මසක නිහැඬියාවකින් පසු ක්‍රිකට් තරග යළි ඇරඹේ

by Staff writer 08-07-2020 | 2:03 PM
COLOMBO (News 1st) : මාස 4 කට ආසන්න දිගු නිහැඬියාවට තිත තබමින්, කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට ආරම්භ වේ. ඒ, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියත් සමගිනි. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වේ. එහි පළමු තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට එංගලන්තයේ සවුත්හැම්ටන්හීදී ආරම්භ වීමට නියමිතයි. අද තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබේ. ස්ටොක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 81 වැනි නායකයා ලෙස ඉතිහාසයට එක් වේ. ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. එංගලන්ත කණ්ඩායම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 4 වැනි ස්ථානයේ පසු වන අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි. මෙම තරගාවලිය ආරම්භවීමට පෙර ක්‍රීඩකයින් නිරෝධායන ක්‍රියාවලියකට ද යොමු කෙරිණ. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක වේ. මේ අතර එංගලන්තය සමග ඉදිරියේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පකිස්ථාන ක්‍රිකට් පිලේ 3 වැනි කණ්ඩායමත් එංගන්තයට පැමිණ තිබේ.