විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට තීරණය කෙරේ

ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට තීරණය කෙරේ

by Staff writer 08-07-2020 | 6:04 PM

COLOMBO (News 1st) - මාර්තු සහ අප්‍රේල් මාසයේ ඉහළ ගිය විදුලි බිල්වලින් කොටසක් රජය විසින් දැරීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දීමේ අරමුණින් අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය ඊට සිය එකඟතාව පළ කළ බවය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු පෙන්වා දෙන්නේ, එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින් ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බවය. විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කෙරුණි. එහිදී අමාත්‍ය මණ්ඩලය දුන් උපදෙස් අනුව, එම වාර්තාවේ නිර්දේශිත කරුණුවලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක් ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය.