මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ කොස්තාපල්වරයෙක්

අත්අඩංගුවේ සිටින නාකොටික් නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශනයක්

by Staff writer 08-07-2020 | 11:28 AM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට යළි විකිණීමේ සිද්ධිය පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෙහෙයවා ඇති බව, විමර්ශනවලදී අනාවරණ වී තිබේ. පොලිසිය පැවසුවේ, සැකකාර කොස්තාපල්වරයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. විශාල වටිනාකමකින් යුත් ඉඩම් 4 ක් ඔහු සතුව ඇතැයි, අනාවරණය වූ බව ද පොලීසිය පැවසී ය. මේ අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් ඇතුළු සැකකරුවන්ගේ වත්කම් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පොලීසිය පැවසුවේ, ඒ අනුව නිලධාරීන් ඇතුළු 21 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කරන බවයි. සැකකරුවන්ගේ බැංකු ගිණුම් සියල්ල මේ වන විට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය. පොලීසිය පවසන්නේ, අදාළ බැංකු ගිණුම් පිළිබඳ සවිස්තර වාර්තා කැඳවීමට ද, මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි. මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සේවය කළ සැකකාර නිලධාරීන්ට අයත් වාහන 7 ක් ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පොලිස් පරික්ෂකවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර ජාවාරමට සම්බන්ධ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද ඊයේ අත්අඩංගුවට ගැනිණ.