වෛද්‍ය රසායානාගාර තාක්ෂණවේදීන්ගෙන් ජනපතිට ලිපියක්

වෛද්‍ය රසායානාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

by Staff writer 07-07-2020 | 6:52 PM
COLOMBO (News 1st) : සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටලු සහගත තත්ත්වයක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය රසායානාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි. ඒ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි. කොවිඩ් 19 වසංගතයට අදාළව PCR පරීක්ෂණ සිදුකෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු රසායනාගාරයක් ඒවායේ උපරිම ධාරිතාවය සමීපයටවත් ළඟා වී නොතිබියදී බාහිර රසායනාගාර වෙත PCR පරීක්ෂණ නිදර්ශක යොමු කිරීම අනවශ්‍ය ව්‍යාකූලතාවක් නිර්මාණය කිරීමක් බව රජයේ වෛද්‍ය රසායානාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි. ඉකුත් දා ජින්තුපිටිය ප්‍රදේශයේදී COVID 19 ආසාදනය වූ බවට අනුමාන කර ස්වයං නිරෝධායනයට යොමු කළ තැනැත්තා අසාදිතයෙකු බවට තහවුරු කරමින් නිකුත් කරනු ලබන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාරයකින් නිකුත් කළ එකක් නොවන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ද රවී කුමුදේශ් මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් දන්වා තිබේ. රජයේ වෛද්‍ය රසායානාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාර සම්බන්ධයෙන් විමර්ශනයක් හා සංගණනයක් සිදු කරන ලෙසයි.