CID අත්අඩංගුවේ සිටින නිලධාරීන් 15දෙනාගේ වැඩතහනම්

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව වාර්තාවක් කැඳවයි

by Staff writer 07-07-2020 | 7:24 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි, ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම කොමිසම සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශනවල අවසන් වාර්තාව එලෙස කොමිසමට ඉදිරිපත් කරන්නැයි දැනුම් දී ඇති බවය. අදාළ වාර්තාව පදනම් කරගනිමින් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව එම කොමිසම ප්‍රකාශ කළේ ය. ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවේ පසුවන නිලධාරීන් 15 දෙනාගේ වැඩතහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවය. වැඩතහනමට ලක් වූ නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙක්, උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, සැරයන්වරුන් පස්දෙනෙක් සහ කොස්තාපල්වරුන් 7 දෙනෙකුවේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් වාහන අතුරින් 3 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත. ඒ, අදාළ වාහන මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත්තේදැයි විමර්ශනයටයි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධ විමර්ශන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන ඇති බවයි.