නිමක් නොමැති වැලි ජාවාරමේ සුලමුල

නිමක් නොමැති වැලි ජාවාරමේ සුලමුල

by Staff writer 07-07-2020 | 9:54 PM

COLOMBO (News 1st) : ඉදිකිරීම් යනු සංවර්ධනයේ කොටසකි.

නමුත් ඉදිකිරීම්වලදී පරිසරයත්, අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න නීතිරීති ඕනෑ තරම් අපේ රට තුළ පවතී. මේ නීතිරීති අතරින් රිංගලා පරිසරය විනාශ කරමින් ඉදිකිරීම් සඳහා අත්‍යවශ්‍ය අමු ද්‍රව්‍යයක් වන වැලි ලබාගැනීම දැන් ජාවාරමක් දක්වා පුළුල් වී ඇත. මේ ජාවාරම මැඩ පවත්වන්න පොලිස් විශේෂ කාර්යය බලකායට පවා මැදිහත්වීමට මේ වනවිට සිදු වී තිබේ. හොරණ ප්‍රදේශීයේ ලේකම් කොට්ඨාසයේ මාවක් ඔය ආසන්නයේ තියෙන සොදුරුප්ප ඕවිට ඉඩමේ මැණික් ගැරීමේ මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි ජාවාරමක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලුවේ ය. වැටලීමට හොරණ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ ද සහය ලැබී තිබුණි. අක්කර 3ක පමණ මේ ඉඩමේ මැණික් පතළක් කරන්න බලපත්‍රයක් තිබුණත් වැලි ගොඩදාන්න, වැලි ගබඩා කරන්න හෝ අලෙවි කරන්නවත් බලපත්‍ර නොමැත. වැටලීම කරන මොහොතෙත් මේ ඉඩමේ වැලි කියුබ් 150 ක් පමණ ගොඩගසා තිබුණි. වැලි ප්‍රවාහනයට යොදාගත් ලොරියක්ද එහිදී සොයා ගත්තේ ය. මේ මහා පරිමාණ ජාවාරම පවත්වාගෙන ගොස් තිබුණේ ස්කැවේටර් යන්ත්‍ර 2ක්, වැලි සෝදන යන්ත්‍රයක් ඇතුළු යන්ත්‍ර සූත්‍ර ද භාවිතා කරමින් ය. ගම්වැසියන් පවසන්නේ පහුගිය ජනවාරි මාසයේ සිට මේ ස්ථානයේ පස් සෝදා වැලි ලබා ගැනීම සිදුකර ඇති බවයි. වැලි ජාවාරම නිසා මේ දිනවල වැඩිම විනාශයක් සිදුවෙමින් ඇති ස්ථාන අතර කන්තලේ විශේෂ වේ. කන්තලේ , සූරියපුර සිට නීලපුර දක්වා ඇති මහවැලි ගඟේ ඇති වැලිමංකඩවලින් මහා පරිමාණයෙන් වැලි කැනීම් සිදු වේ. මේ ස්ථානයෙන් ලබාගන්නා වැලි ගැණුම්කරුවන්ට ලබාදීමේදීත් වංචා රැසක් සිදු වේ. අප මේ ජාවාරමේ සුළමුල සොයා බැලුවෙමු. ලොකු ටිපර් එකක ධාරිතාව වැලි කියුබ් 3 කි. කන්තලේ වැලි තොටුපොළවලින් වැලි පටවාගෙන එන ටිපර් දඹුල්ලේ සිට කජුගම දක්වා ස්ථාන කිහිපයකම නවත්වනු ලබයි. ඒ ස්ථානවලදී මොවුන් කරන්නේ වැලි ප්‍රමාණයෙන් කොටස් කිහිපයක් ඉවත් කරන එක ය. අවසානයේ ගැණුම්කරුවන්ට ලැබෙන්නේ කන්තලෙන් ගේන වැලි කියුබ් 3 ට වඩා අඩු ප්‍රමාණයකි. මේ අතරමැදි වැඩෙන් වැලි ව්‍යාපාරිකයින් සැළකිය යුතු ලාභයක් උපයයි. පරිසරයටත්, අවසානයේ මිලදී ගන්නා පාරිභෝගිකයාටත් අගතියක් වන මේ ක්‍රියා විධිමත් කිරීමට පියවර ගත යුතු නොවේද? පසුගිය සිකුරාදා මහඔය පූලිවලදී ජංගම දුරකතනයක පටිගත කළ දර්ශන මගින් වැලි ජාවාරමේ තරම කියාපායි. මේ ස්ථානයේ වැලි ප්‍රවාහනය කරන්න යොදාගෙන තියෙන්නේ කන්ටේනර් ය. වැඩි අවධානයක් නැතුව නීතියට වැලි ගහලා වැලි ප්‍රවාහනය කරන්න මේ ක්‍රමය දැන් යොදා ගෙන තිබේ. සංවර්ධනයට කිසිවෙකුත් අකමැති නොවේ. හැබැයි මේ අයුරින් ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කරන්න ගියොත් අනාගත දරු පරපුරට නම් රටක් ඉතුරුවෙන්නේ නැත. ඒ නිසා මේවා ගැන වහා අවධානය යොමුකිරීම වැදගත් නොවන්නේද?