අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

රවීට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු නියෝගයක්

by Staff writer 07-07-2020 | 8:36 PM

COLOMBO (News 1st) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් දුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය අද නිකුත් කළේ ය.

ඒ, රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් එම වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සලකා බලමින් ය. ඒ අනුව එම පෙත්සම් විභාග කර අවසන් කරන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය. පෙත්සම් කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.බී.නවාස් ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ ය. මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 51.98 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම යන චෝදනාව යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කළේ ය. කෙසේ නමුත් තම අධිකරණය විසින් අද දින නිකුත් කළ අතුරු තහනම් නියෝගය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවනු ලබන ඕනෑම අවස්ථාවකදී මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදිය යුතු බවත් අභියාචනාධිකරණය නියෝග කර සිටියේ ය.