COLOMBO (News 1st) : අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක වී නැතැයි එම ක්‍රීඩකයින් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මේ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
2017 වර්ෂයේ දෙසැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති T10 ක්‍රිකට් තරගාවලියට එක්වූ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ ය.
ශ්‍රී ලංකා " A " ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතාටත් 2019 මැයි මස 10 වැනිදා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබුණි.
මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ මහතාට 2018 නොවැම්බර් මස 13 වැනිදා කරුණු 3ක් යටතේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කළේ, මෙම T10 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කරමින් ය.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා
මාස 14 ක් තිස්සේ අපි දැන් බලන් ඉන්නවා ICC එකෙන් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපිට මේ පිළිබඳ පරීක්ෂණයක් දෙනකන් අපිට අද වෙනකන් පරීක්ෂණයක් ලැබිලා නෑ. මේ තරගාවලියට ICC අනුමැතිය නොදුන් තරගාවලියක්. මේ සහභාගී වුණ කණ්ඩායමට එතකොට හිටිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිලත් නෑ. එතකොට හිටිය සිලෙක්ෂන් කමිටි එකෙන් නෙමෙයි මේ ටීම් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. එතකොට අපි චාජ් කරලා තියෙන්නේ එමිරේට්ස් ක්‍රිකට් බෝර්ට් කෝට් එකකට. අපි මේ එමිරේට්ස් ක්‍රිකට් බෝර්ට් කෝට් එකට බැදුණේ කොහොමද? ඒ සම්බන්ධයෙන් ලියකියවිලි තියෙනවා ද ? එතකොට මේ කණ්ඩායමට ඉන්දියානු ව්‍යාපාරිකයෝ දෙන්නෙක් අයිතිකාරයෝ කියලා ඒ ගොල්ලෝ කියලා තියෙනවා. එහෙම වුණේ කොහොමද ? ලංකාවේ කණ්ඩායමකට ඉන්දියානු ව්‍යාපාරිකයෝ දෙන්නෙක් අයිතිකාරයෝ වෙන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ප්‍රශ්න අහලා යවලා තියෙනවා. අපිට අද වෙනකන් කිසිම ඒ පිළිබඳව පිළිතුරක් ලැබිලා නෑ.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතා
යම් කාරණා 3 ක් යටතේ මා කිසිම චෝදනාවක් නැතිව පදනම් විරහිතව චෝදනාවට ලක් වෙනවා. නමුත් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් මාස 14 ක් තිස්සේ දැන් පරීක්ෂණයක් ලබා දෙන්න කියලා. ක්‍රීඩා අමාත්‍යාංශයටත් එකපාරක් දෙපාරක් ලියුවා මා බලාපොරොත්තු වෙනවා අපට සාධාරණයක් ඉෂ්ඨවෙයි කියලා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ මහතා
මේ තරගාවලියට මම ක්‍රීඩකයෙක් විදිහටවත් නිලධාරියෙකු විදිහටවත් සහභාගී වුණේ නැහැ. ඉතින් ඇත්තටම මම අන්තිමට ක්‍රීඩා කළේ, ජාත්‍යන්තර තරගයක් 2013 සහ ඩොමැස්ටික් තරගයක් ක්‍රීඩා කළේ 2016 පෙබරවාරි ඉතින් ඇත්තටම මට මේ චෝදනා පත්‍රය දෙන්නේ 2018 දෙසැම්බර්වල ඉතින් ඇත්තටම අවුරුදු 2 කට වැඩි කාලයක් ඉතින් මම අහන්නේ මම කොහොමද මේ කෝඩ්ස්වලට බැදෙන්නේ කියන එක තමයි මම අහලා තියෙන්නේ. දැන් අවුරුදු 2 කටත් ලංවෙන්න එක කාලයක් ඉතින් මම බලන් ඉන්නවා සාධාරණයක් වෙයි කියලා.