COLOMBO (News 1st) : රටක් දියුණුවෙද්දී ජනගහනය වැඩි වෙද්දී ඉඩම්වලටත් ලැබෙන්නේ ලොකු වටිනාකමකි.
අවස්ථා 2දී නිකුත් කළ චක්‍රලේඛ දෙකකින් අවශේෂ කැළෑ ඉඩම් නමින් හඳුන්වන ඉඩම් හිතුමතේ විවිධ පාර්ශව අතට පත්කිරීම වළක්වා තිබේ.
එවැනි ඉඩම් කිසියම් කටයුත්තකට යොදා ගන්නවා නම් මේ චක්‍රලේඛ අනුව කමිටුවක් මගින් කරන සමාලෝචනයකින් පසුව අනුමත කළ යුතු ය.
මේ නිසා අවශේෂ කැළෑ බොහොමයක් පසුගිය කාලයේ ආරක්ෂා වෙලා තිබුණි.
නමුත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාවකින් මේ චක්‍රලේඛ වෙනස් කරන්න යෝජනා කළා.
මේ වෙනස් කිරීම් මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යළිත් මේ ඉඩම් විවිධ කටයුතු සඳහා ලබාදීමේ බලය පැවරේ.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය, ගිලිමලේ රක්ෂිතය සහ කිරිබත්ගල කන්ද අවශේෂ කැළෑ ඉඩම් ලෙස හදුන්වන ප්‍රදේශ කිහිපයකි.
අවශේෂ කැළෑ ලෙස හැදින්වුවත් ජෛව විවිධත්වය හා පාරිසරික වටිනාකම අතින් මේවා ඉතා වැදගත් ඉඩම් ය.
දැන් මේ ඉඩම් තනි පුද්ගලයෙකුගේ තීරණය මත ව්‍යාපෘතිවලට ලබාදෙන්න චක්‍රලේඛ වෙනස් කිරීමට අවශ්‍ය පියවර කැබිනට් මණ්ඩලයට යෝජනා කරන වගකීම පැවරිලා තියෙන්නේ එස්.එම් චන්ද්‍රසේන ඇමතිවරයාටයි.
පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා
පසුගිය කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරු කිහිප දෙනෙක්ම කතා කළා මේ අවශේෂ කැළෑ එහෙම නැත්තම් වන සංරක්ෂණයෙන් ගොවිතැන් කරන ඉඩම්වලට මායිම් ගල් දාලා වැසිකිළි යනවා කැළේ පැත්තට ගෙදර මේ පැත්තේ මේ වගේ අසාධාරණකම් විශාල වශයෙන් වෙනවයි කියලා . මොකද GPS ක්‍රමය යටතේ මේ ගල් දාපුවාම ඒක ප්‍රායෝගික නැහැයි කියන එක තමයි ඇමතිවරු ප්‍රකාශ කළේ ඒ වෙලාවේ ඇමති මණ්ඩලය තීන්දුවක් ගත්තා. අවශේෂ කැළෑ ඒ වගේම වන සංරක්ෂණ කැළෑ සහ වනජීවී කැළෑ හරියට හඳුනාගෙන කැළෑ නැති මුඩු ඉඩම් වගේ දේවල් ඒ වගේම ළඳු කැළෑ වගේ දේවල් මහ ගස්කොළන් නැති ඒ ඉඩම් ටික ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ පාලනයට අරන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතියෙන් ගොවිතැන් කටයුතුවලට ලබාදෙන්න කියලා. මොකද අපි දන්නවා 2001 චක්‍රලේඛයට ඉස්සරවෙලා මේ රටේ ගොවි ජනතාව තමන්ගේ ගම ආසන්නයේ තිබෙන ගම ඉස්මත්තේ තිබෙන පොඩි ළඳු කැලෑවේ තමයි ගොවිතැන් කළේ. කොයිවෙලාවේවත් වනසංරක්ෂණ ඉඩම්වලට වනජීවී ඉඩම්වලට වන සතුන්ගේ ඉඩම්වලට හානියක් කරන්නේ නෑ. මේ අනවශ්‍ය විදිහට මේ ඉඩම් පරිහරණය කිරීම වෙනුවට විද්‍යාත්මකව හොද ක්‍රමයක් සකස්කිරීම තමයි ඇමති මණ්ඩලය කරන්න කියලා මට උපදෙස් දීලා තියෙන්නේ . ඒ අනුව ක්‍රමවේදය හදන්නේ නිලධාරීන් මම නෙවෙයි . නිලධාරීන් ඒක හොදින් හදලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ලෑස්තිවෙලා තියනවා කියලා මම කියන්න කැමතියි .
පරිසරවේදී සජිව චාමිකර මහතා
එස්.එම් චන්ද්‍රසේන වගේ ඇමතිවරුන්ගේ අඩු දැනුම් මට්ටම මේ වගේ අමාත්‍යවරු මේ වගේ අමාත්‍යාංශවලට පත් කරලා ඔවුන් එහෙයියෝ බවට පත්කරලා තියෙන්නේ. 05 -2001 චක්‍රලේඛය ගැටලුවක්ලු හේන් ගොවීන්ට ඉඩම් ලබාදෙන්න . එහෙනම් මේ කොහොමද හේන් ගොවීන්ට ලබලා දීලා තියන ඉඩම් බහුජාතික සමාගම්වලට විවිධ චීන සමාගම්වලට පැවරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ . මොණරාගල දිස්ත්‍රික්කයේ අක්කර 62,500ක් සිංගප්පුරු සමාගමක් වෙච්ච ගැසල් වෙන්චර්ස් සමාගමට ලබාදීම සඳහා සැළසුම් කරලා තියනවා. ඒ ඉඩම්වලින් වැඩිපුර ප්‍රමාණයක් අයිති වෙන්නේ බලපත්‍ර යටතේ හේන් වගාවන් සඳහා ලබා දීපු ඉඩම් හේන් වගාකරපු ඉඩම් මිනිස්සුන්ගෙන් අරගෙන විවිධ උපක්‍රම උපාය යොදලා අද වනවිට සමාගම් සතු කරලා තියනවා ක්‍රිකට් ක්‍රීඩකයෝ සතු කරලා තියනවා.
වෙනසක් සඳහා තාරුණ්‍යය සංගමයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර මහතා
දැන් එස්.එම් චන්ද්‍රසේන පරිසර ඇමතිවරයා පරිසරය රකින ඇමති නෙවෙයි පරිසරය නසන ඇමති වෙලා තියෙන්නේ දැන් වැලි ප්‍රවාහන බලපත්‍ර අයින් කරා . මේක සම්බන්ධයි නිශ්චිතවම පහුගිය කාළේ සාකච්ඡාව MCC ගිවිසුමත් එක්ක අක්කර සිය දහස් ගණනක් විවිධ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණන එක තමයි MCC එකෙන් කරන්නේ මේක තමයි යට තියන ප්ලෑන් එක මේ සියල්ල ගෙන එන්නේ වෙන කිසිදේකට නෙවෙයි මේ රටේ තියන මේ පරිසර පද්ධතිය විනාශ කරමින් බහුජාතික සමාගම්වලට මේ හේන් ටික විකුණන්න. හේන් ගොවියන් ගැන කැක්කුමක් තියනවා නම් ආණ්ඩුවට ඕයිට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්.
5-2001 චක්‍රලේඛය සංශෝධනය කිරීමට විරෝධය පල කරමින් මෙවර මැතිවරණයට තරගවදින අපේක්ෂකයෙකු සතුන් කිහිපදෙනෙකු ද රැගෙන අද පරිසර අමාත්‍යාංශයට පැමිණියේ ය.