කටාර්හිදී ඝාතනය වූ තිදෙනෙකුගේ මළ සිරුරු දිවයිනට

කටාර්හිදී ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනෙකුගේ මළ සිරුරු දිවයිනට රැඟෙන එයි

by Staff writer 07-07-2020 | 4:22 PM
COLOMBO (News 1st) : කටාර් රාජ්‍යයේ දී ඝාතනයට ලක් වූ එකම පවුලේ මව,පියා සහ දියණියගේ මළ සිරුරු අද කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබිණ. විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ඔවුන් තිදෙනා ගෙල සිරකිරීමෙන් ඝාතනය කර ඇති බවට වාර්තා ඇති බවයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ මව ,59 හැවිරිදි පියා සහ 34 හැවිරිදි දුව බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ය. පසුගිය මාර්තු මාසයේදී ඔවුන් නිවස තුළදී ඝාතනය කර තිබෙන අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ගුවන් යානා නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු මෙරටට ගෙන ඒමට නොහැකි වූ බවයි. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා මළ සිරුරු මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මිය ගිය අය කැලණිය ප්‍රදේශයේ පදිංචි කරුවන් ය. කටාර් තනාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පැවසී ය. ඔවුන්ගේ මළ සිරුරු අද උදෑසන 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබිණ.