මහ මුහුදේ පොරබැද දිවි බේරාගත් අරුම පුදුම ධීවරයෝ

දින 4 ක් මහ මුහුද සමග පොරබැද දිවි බේරාගත් අරුම පුදුම ධීවරයෝ....

by Staff writer 06-07-2020 | 8:06 PM

COLOMBO (News 1st) - චෙන්නායි සිට නාවික සැතපුම් 170 ක් පමණ රළු මුහුදේ අනතුරකට පත්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු වෙළෙඳ නෞකාවක් වන එම්.වී.වයි.එම් සමුළුව නෞකාව විසින් පසුගිය ඉරිදා බේරාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ධීවරයින් බෝට්ටුව පෙරළී දින හතරක් පමණ මුහුදේ සිට ඇති බවය. ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා ධීවරයින් හය දෙනා බේරා ගෙන තිබේ. ඉරිදා උදෑසන විශාකාපට්ටම් බලා යමින් සිටි වෙළෙඳ නෞකාවක කාර්ය මණ්ඩලය පෙරළී ගිය ධීවර බෝට්ටුවක් දැක තිබේ. එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම කාර්ය මණ්ඩලය ඔවුන් මුදාගෙන නෞකාවට රැගෙන ඇති අතර පසුව ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ට භාරදී ඇත. මෙම ධීවරයින් තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය පිරිසකි. යාපනයට උතුරින් බෙංගාල බොක්ක මුහුදු සීමාවේදී යාත්‍රාව පෙරළී මේ පිරිස අනතුරට ලක්ව තිබේ. පසුගිය 1 වැනි දා ඔවුන් අනතුරට ලක්ව ඇති අතර 5 වැනි දා බේරා ගන්නා තෙක් ඔවුන් රැඳී සිට ඇත්තේ පෙරලුණු යාත්‍රාව මතයි. මේ පිරිස යළි මෙරටට ගෙන්වා ගැනීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර ඔවුන් මෙරටට පැමිණි පසුව නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.