මැති, ඇමතිලා භාර නොදුන් වාහන 13ක් ගැන විමර්ශන

හිටපු මැති, ඇමතිවරුන් භාර නොදුන් වාහන 13 ක් ගැන පොලිස් විමර්ශන

by Staff writer 05-07-2020 | 7:18 AM

COLOMBO (News 1st) - හිටපු මැති ඇමතිවරුන් භාර නොදී සන්තකයේ තබා ගෙන සිටින වාහන 13 ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව දුන් උපදෙස්වලට අනුවය. අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට මේ පිළිබඳ උපදෙස් ලබා දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෙවර මැතිවරණය තරග කරන හිටපු මැති ඇමතිවරුන් සතු වාහන 13 ක් එලෙස භාර දී නොමැති බවට පැමිණිලි ලැබී ඇති බවයි. ඉන් වාහන 2 ක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු අදාළ අමාත්‍යාංශයට භාර දී ඇති බව ද පොලීසිය පැවසීය. සෙසු අපේක්ෂකයින්ට තමන් සතු වාහන කඩිනමින් භාර දෙන්නැයි පෞද්ගලිකවම දැනුම් දී ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. මේ අතර අදාළ වාහන ලබා ගැනීම සහ ගත යුතු ඉදිරි ක්‍රියාමර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය. ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදීය. ඒ සඳහා අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් කොමිසමට කැඳවා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.