රාජ්‍ය ආයතන සතු වගා කළ හැකි ඉඩම් ගැන තීන්දුවක්

රාජ්‍ය ආයතන සතු වගා කළ හැකි ඉඩම් වගා සඳහා පමණක් ගොවීන්ට ලබා දීමේ තීරණයක්

by Staff writer 05-07-2020 | 7:15 PM

COLOMBO (News 1st) – දිවයින පුරා රජයේ ආයතන සතු වගා කළ හැකි ඉඩම්, වගා සඳහා පමණක් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පැවසුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව මීට පෙර වගා කර තිබූ ඉඩම් මේ වනවිට හඳුනාගෙන ඇති බවය. එම ඉඩම් ලබන මහ කන්නයේ සිට වගා කිරීම සඳහා ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය. ඊට අමතරව මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වැවිලි සංස්ථාව සහ වතුකරයේ සමාගම් සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳව ද මේ වනවිට අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි සඳහන් ය. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, නේවාසික කළමනාකරුවන් ඇතුළු කණ්ඩායමක් එම අධ්‍යයනය ආරම්භ කර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, මෙහිදී හඳුනාගන්නා ඉඩම් කඩිනමින් ගොවි ජනතාවට වගා කටයුතු සඳහා පමණක් ලබා දීමට පියවර ගන්නා බවය. බඩඉරිඟු, දූරියන්, අලිපේර, අඹ ඇතුළු බෝග වැඩි වශයෙන් එම ඉඩම්වල වගා කිරීමට අපේක්ෂිත බව ද ඔහු පැවසුවේ ය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අපනයනය අරමුණු කරගනිමින් ය.