පුස්කොළ පොත්වල හිමිකම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට

පුස්කොළ පොත්වල හිමිකම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා ගැනීමේ තීරණයක්

by Staff writer 05-07-2020 | 1:52 PM

COLOMBO (News 1st) - විහාරස්ථානවල මෙන්ම විවිධ පුද්ගලයින් සතුව පවතින පුස්කොළ පොත්වල හිමිකම, රාජ්‍ය ලේඛනාගාරයට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එම පොත් සන්තකයේ තබා ගැනීමට අවස්ථාව ලබාදෙන බවය. එහෙත්, ඒවායේ නිල හිමිකම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතිනු ඇති. මෙරට ඇතිඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ එය සිදු කරන බව ලේකම්වරයා සඳහන් කළේ ය. එහි පළමු අදියර යටතේ පුස්කොළ පොත් පිළිබඳ සංගණනයක් ද සිදු කිරීමට නියමිතය. පසුගිය කාලයේ මෙරට ඓතිහාසික වටිනාකමකින් යුත් පුස්කොළ පොත් අධික මිල ගණන්වලට විකිණීමේ ඡාවාරම් පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. වටිනා තොරතුරු අන්තර්ගත පුස්කොළ පොත්වල මුල්පිටපත්, පවතින ස්ථාන සොයා ගැනීම ද එම වැඩපිළිවෙළේ තව ත් අදියරක් වේ. ඒ අනුව යම් පුද්ගලයෙකු පුස්කොළ පොත් ප්‍රතිලේඛනගත කිරීමක් හෝ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කරන්නේ නම් සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බව ද අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ය.