5,11,13 ශ්‍රේණිවල දෙවන පාසල් වාරය හෙට ඇරඹේ

නව කාලසටහනට අනුව සිය කාල පරිච්ඡේද ආවරණය කිරීමෙන් පසු ගුරුවරුන්ට පාසල්වලින් පිටව යාමට අවසර - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 05-07-2020 | 7:13 AM

COLOMBO (News 1st) - දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ.

ඒ අනුව 5, 11, සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පමණක් ඇරඹෙනු ඇති. හෙට දින සියලු ගුරුවරුන් පාසලට පැමිණීම අනිවාර්ය වන අතර විෂය නිර්දේශයට ප්‍රමුඛතාවයදී කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. 5 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට 1.30 දක්වා පමණි. 13 ශ්‍රේණි සිසුන් සඳහා උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර පාසල් නව කාලසටහනට අනුව සිය කාල පරිච්ඡේද ආවරණය කිරීමෙන් පසු පාසල්වලින් පිටව යාමට ගුරුවරුන්ට අවස්ථාව ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ, ගුරුවරුන් පාසලෙන් බැහැර කිරීම සහ ඔවුන් නැවත විෂය නිර්දේශ ආවරණයට නැවත පාසලට කැඳවිය යුත්තේ කෙසේ ද යන්න විදුහල්පතිවරුන් තීරණය කළ යුතු බවයි. විදුහල්පති නිර්දේශ යටතේ පමණක් ගුරුවරුන් පාසලට පැමිණීම සහ පිටව යාම සිදු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය. සියලු ගුරුවරුන් පස්වරු 3.30 දක්වා පාසලේ රැඳී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේ ය. උසස් පෙළ විභාගය දැනට ප්‍රකාශිත දිනට පැවැත්විය යුතුද නැද්ද යන්න පිළිබඳ සිසුන්ගේ අදහස් ලබන සතියට පෙර අමාත්‍යාංශයට යොමු කරන්නැයි සියලු විදුහල්පතිවරුන්ට දැනුම්දී අති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම අදහස් සැලකිල්ලට ගනිමින් විභාගය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් 07 වැනි දා පැවැත්වීමට දැනට දින නියම කර තිබේ.