කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙක් මරුට

by Staff writer 05-07-2020 | 9:27 AM

COLOMBO (News 1st) - ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර ප්‍රදේශයේදී අද(05) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහුගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළවයි. අද අලුයම 5.00ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. කුසල් මෙන්ඩිස් පැද වූ බව පැවසෙන මෝටර් රථය, පා පැදියක ගැටී තිබුණේ පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදීය. වාහනය නොනවත්වා ධාවනය කර තිබූ අතර පසුව ඔහු පානදුර පොලීසියට පැමිණ භාර වූ බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මියගියේ පානදුර, උතුර ගොරකාපොළ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙකි. ඔහු බස් කොන්දොස්තරවරයෙකි. අද අලුයම සේවයට යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබුණි. දේහය පානදුර මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. කුසල් මෙන්ඩිස් හෙට(06) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.