ඔබාමා ට්‍රම්ප්ව ප්‍රසිද්ධියේ විවේචනය කරයි

ඔබ මුලින්ම සදාචාර සම්පන්න පුද්ගලයෙකු විය යුතුයි - ඔබාමා ට්‍රම්ප්ට කියයි

by Staff writer 05-07-2020 | 9:50 PM

COLOMBO (News 1st) – අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා එරට වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් මාලාවක් පළ කර තිබුණි.

"මට තියෙන ප්‍රශ්නය තමයි රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සහා කොංග්‍රස් සභිකයන් ඒ වගේම රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් මහජන නියෝජිතයන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ රටේ ජනාධිපති වීමට සුදුසු නැති වග තේරුම් ගැනීමට ඇයි මේ තරම් කාලයක් ගත්තේ? ඔබගේ පක්ෂය රොනල්ඩ් රේගන් හිටපු ජනාධිපතිවරයා හිස් මුදුනින් තබාගෙන ප්‍රශංසා කරනවා නම් ඔබගේ වත්මන් ජනාධිපතිවරයා හිටපු සෝවියට් රහස් ඔත්තු සේවයේ සාමාජිකයෙකු වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටිං සමග සමීප සබඳතා පවත්වද්දී ඔබ කොහෙද හිටියේ? මම රුසියානුවන් සමග කතා කළ පමණින් ඔබ සියලු දෙනාම මා විවේචනය කරනවා. නමුත් ඔබගේම නියෝජිතයන් පුටිං සමග සමීප සම්බන්ධතා පවත්වද්දී ඔබට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ පැවැත එන්නේ සරණාගතයන් ලෙස මෙරටට පැමිණි අයගෙන් නම්, මොකද මෙරට ඉන්න බොහෝ දෙනෙක් ස්වදේශිකයන් හැරුණු විට සරණගාත පවුල්වලින් පැවත එන්නන් නිසා. ඔබගේ පක්ෂයේ ජනාධිපති නියෝජිතයා සරණාගතයන්ට අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගහන අවස්ථාවේදී ඔබ කොහෙද හිටියේ? ඔබ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන නායකයෙකු හෝ නිලධාරියෙකු නම් ඔබ බොහෝවිට තරග කරන්නේ පවුල් ප්‍රතිපත්ති මත. එසේ නම් ඔබගේ ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ට අපහාස වන අන්දමින් ඔවුන් බල්ලන්ට සහ ඌරන්ට සමාන කරන අවස්ථාවේදීත්, කාන්තාවන්ගේ බුද්ධිය අවතක්සේරු කරන අවස්ථාවේදීත් මාස ගණනකට කලින්වත් ඔහු සමග යන ගමනින් ඉවත් වුණේ නැත්තේ ඇයි ? කාන්තාවක් වෙනුවෙන් නැගී සිටීමට ඔබ ස්වාමි පුරුෂයෙකු හෝ පියෙකු වීම අනිවාර්ය නෑ. ඒ වගේම ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීම සහ හිරිහැර කිරීමට එරෙහිව නැගී සිටීමට ඔබ ආබාධිත කෙනෙකු විය යුතු නැහැ. අපි වගේම දේශප්‍රේමී අපේම ජනතාව වෙනුවෙන් එකට නැගී සිටීමට මුස්ලිම් ජාතිකයෙකු වීමත් අනිවාර්ය නැහැ. ඔබ මුලින්ම සදාචාර සම්පන්න පුද්ගලයෙකු විය යුතුයි. ඔබ මේ රටට ආදරය කළ යුතුයි"