අවශේෂ කැළෑ ඉඩම්වලට මොකද වෙන්නෙ?

අවශේෂ කැළෑ ඉඩම්වලට මොකද වෙන්නෙ?

by Staff writer 05-07-2020 | 9:41 PM

COLOMBO (News 1st) – සංවර්ධනයට ඉඩම් ලබාගැනීම සහ රටේ ඉඩම් විවිධ ව්‍යාපෘතිවලට යොදාගැනීම පිළිබඳ සාකච්ඡාවක් පවතිද්දී MCC සම්බන්ධයෙන් ද සංවාදයක් මතුව තිබියදී රටේ වටිනා ඉඩම් පිළිබඳව වෙනත් බරපතල තීරණයක් ගැනීමේ සූදානමක් මතුවී තිබේ.

මේ අවදානම පසුගිය දින කිහිපයේම අප අනාවරණය කළේ ය. අවශේෂ කැළෑ ලෙස හඳුන්වන ඉඩම් විවිධ පාර්ශ්වයන්ට හිතුමතේ ලබාදීම සීමා කරමින් 2001 නිකුත් කළ චක්‍රලේඛනයක් අහෝසි කිරීම එම උත්සාහයයි. පනතක් යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙතෙක් නම් කර නොමැති ප්‍රදේශ අවශේෂ කැළෑ ලෙස හැඳින්වෙයි. අදාළ චක්‍රලේඛනය නිසා එවැනි ඉඩම් ලබාදීමේදී විශේෂ සමලෝචන කමිටුවක අවසරය ලබාගත යුතුව තිබුණි. චක්‍රලේඛනය අහෝසි කළොත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙම ඉඩම් සම්බන්ධයෙන් බලතල පැවරේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන‍ මහතා
"ගොවි ජනතාව විවිධ හිංසනයන්ට හා පීඩාවන්ට පත්ව තිබෙන බවට පැමිණිලි රාශියක් ලැබිලා තිබෙන නිසා ඒ පිළිබඳව විමර්ශනය කොට බලා දිසාපතිවරයාට නැවත පවරාදීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන ලෙස වනජීවී වන සංරක්ෂණ එස්.එම් චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලය දැනුම් දුන්නා" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය මහින්ද අමරවීර මහතා "ගොවීන් වගා කරපු ඉඩම් දැන් ළඳු කැළෑ . ඒවා වැටවල් දාලා වෙන් කරගන්න පටන් ගත්තා . මිනිස්සු ජීවත් වෙන්න එපැයි. අලුතින් කැළෑ කැපිල්ලකට අවසර දෙනවා නෙමෙයි . මිනිස්සු හිටියා මෙහෙන් ජීවත් වෙච්ච. එන්න ඒ අයට සහනයක් දීම පිළිබඳවයි කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තේ. නැතුව කැළෑ කපන්න අවසර දීලා නැහැ" මේ අතර පසුගිය දිනක විකාශය වූ නිවුස් ලයින් වැඩසටහන එක්වෙමින් පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියන් මේ ගැන අදහස් පල කළේ ය. "දැන් මේ කරන්න හදන්නේ වත්මන් ආණ්ඩුව විසින් හෙක්ටයාර ලක්ෂ 5ක් වැදගත් ඉඩම් දිසාපතිට පැවරීම හරහා බහුජාතික සමාගම්වලට දෙන්න . සමාගම් 5කට පවරන්න මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා . සංවර්ධන රැස්වීමේදී කිව්වොත් මට අතන අක්කර 2000ක් ඕනේ කියලා දිසාපතිට දෙන්න වෙනවා . මේ අවදානම අපිට තියෙනවා . කෘෂිකර්මාන්තය සඳහා 33% ක ඉඩම් තියෙනවා. ඵළදායිතාවයෙන් භාවිත කරන්නේ 12%යි . එතකොට ඕන තරම් මුඩු ඉඩම් තියෙනවා . කෘෂිකර්මාන්තය සඳහා මිනිස්සුන්ට දෙන්න . අහිංසක මිනිස්සු විසින් හෙක්ටයාර ලක්ෂ 5ක් සමාගම්වලට දෙන්න ආණ්ඩුව සූදානම් වෙලා තියෙනවා .අපි දැක්කා සෝමවතිය ප්‍රදේශයේ අති දැවැන්ත පාරිසරික හානියක් කරමින් ඩෝල් සමාගමට කෙහෙල් වගා කරන්න දුන්නා. කලා ඔය රක්ෂිතය දුන්නා අඹ වවන්න. විල්පත්තුවේ එහා පැත්තේ කෝමාරිකා වවන්න දුන්නා. මේ වගේ පුංචි පුංචි ව්‍යාපෘති හදාගෙන ඇවිල්ලා දැවැන්ත පාරිසරික පද්ධතිය විනාශ කරනවා. මේ සියල්ලම විදේශ සමාගම්. කෝමාරිකා වගා කරන්නේ අමෙරිකාවට. ඩෝල් සමාගම කෙහෙල් වගාකරන්නේ අමෙරිකාවට. දැන් කාටද මේ ? අපිට නෙමෙයි .මේ භූමිය ඔවුන් ඒ සඳහා භාවිත කරනවා" ජාතික ජන බලවේගයේ අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා "ඌව වෙල්ලස්ස බිම්තැන්න ප්‍රදේශයේ අක්කර 65000ක් මේ විදිහට බහුජාතික සමාගම්වලට දෙන්න 2006 දෙසැම්බර් 6 මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකා දාලා බ්‍රිතාන්‍යයේ භූකාටෙක් සමාගමට දෙන්න ගියා. වළක්වා ගත්තේ ඔය කියන නීති රීතිත් එක්ක. මේ වගේ තීරණයක් ගන්නවා නම් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට ගන්න තිබ්බේ තනි තීරණයකට නෙමෙයි . මේ වගේ බරපතල තීන්දු ගද්දී විෂය ක්ෂේත්‍රයේ නිලධාරීන් එක්ක කතා කරන්න තිබ්බා . ඒවා තමයි දැන් මේ තනි තීන්දු විදිහට අරගෙන තියෙන්නේ"
පරිසරවේදී සජීව චාමිකර මහතා
"මාගම්පුර වරාය බදුදීමේ ක්‍රියාවලියේදී චීන සමාගම් එක්ක ප්‍රධාන එකඟතාවකට ඇවිත් තිබුණා. අක්කර 15,000ක භූමි ප්‍රමාණයක් කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමක් සිදු කරනවා කියලා. ඒවා ක්‍රියාත්මක කරන්න ප්‍රධාන වශයෙන් තියෙන බාධකය තමයි 5/2001 කියන චක්‍රලේඛනය. මේ යටතේ සියලු ඉඩම් වන සංරක්ෂණ පාලනය යටතට පත්කිරීම හරහා ක්‍රියාවලිය බිදවට්ටලා වෙළෙඳපොළ යාන්ත්‍රණයට බද්ධ කිරීම තමයි මේ සිදුවන්නේ .මේවා සෘජුවම MCC ගිවිසුම සමග බද්ද වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාම චීනයෙන් ගත්ත ණය එක්ක මේක බද්ද වෙලා තියෙනවා. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගත්ත ණය මුදල් එක්ක මේ යන ගනුදෙනුව ප්‍රධාන වශයෙන් මේ චක්‍රලේඛනය ඉවත් කිරීමත් එක්ක බද්ද වෙලා තියෙනවා. ජල අර්බුද ඇති කරමින් ඒ වගේම අලි මිනිස් ගැටුම වර්ධනය වෙමින් මේ ජනතාවට භූමි ප්‍රදේශ භාවිත කරන්න බැරි වෙන තරමට මේ චක්‍රලේඛය ඉවත් කිරීම හරහා භුක්ති විදීමට සිදුවනවා"