අගමැතිගේ චෝදනාවලට සජිත්ගෙන් පිළිතුරු

අගමැතිගේ චෝදනාවලට සජිත්ගෙන් පිළිතුරු

by Staff writer 05-07-2020 | 9:13 PM

?සමගි ජන බලවේගය ඒකීයභාවය පාවා දෙනවා - අගමැතිගෙන් චෝදනා මාලාවක් ?කවුරු මොනවා කීවත් කිසි දිනෙක රට පාවාදෙන්නේ නැහැ - චෝදනාවලට සජිත්ගෙන් ප්‍රතිචාර

  COLOMBO (News 1st) – සමගි ජන බලවේගය හා එහි නායක සජිත් ප්‍රේමදාස මහතා රට බෙදන බෙදුම්වාදී දේශපාලනයක නිරතවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. ඊට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ කවුරුන් කුමක් කීවත් තමා කිසි දිනෙක දෙබිඩි දේශපාලනයේ නිරත නොවන බවය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල සඳහන් කරුණු කිහිපයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් උපුටා දක්වා තිබේ. * ඒකීය රාජ්‍යය සංකල්පය අතහැර "නොබෙදුණු හා වෙන්කළ නොහැකි රාජ්‍යයක්" ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම. * මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභාවලට බෙදා හැරීම. * පළාත් සභා නියෝජිතයන්ගෙන් සෑදුණු දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇති කොට පාර්ලිමේන්තුවේ බලය තවත් සීමා කිරීම. * පාර්ලිමේන්තුවේ මුදල් බලය අහෝසි කොට පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීම. * දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පළාත් සභා යටතට පත් කිරීම. * පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ආරවුල් විසඳීමට වෙනම ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිටුවීම. අගමැතිවරයා පවසන්නේ 2019 වර්ෂය මුලදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැති බවයි. බෙදුම්වාදී මූලධර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම අතිශයින්ම බරපතල කාරණයක් බව ද අගමැතිවරයා සිය නිවේදනය මගින් පවසයි. මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ, පෙර එක්සත් ජාතික පක්‍ෂය සමග සිටි මේ පිරිස් අද “රනිල්ට සිංහල ඡන්ද ලබාගන්න බෑ, සජිත්ට පුළුවන්” යැයි කියමින් සමගි ජන බලවේගය වටා රොක් වී සිටීන බවයි. යම්කිසි ජන වර්ගයක් හෝ ආගමක් මුල්කරගෙන ඇතිවන දේශපාලන පක්ෂ සිදුකරන්නේ තමන්ගේ ජන වර්ගයට හෝ ආගමට අයත් ජනතාවට පමණක් සලකා වෙනත් ජාති හා ආගම්වලට අයත් පිරිස් පිටස්තරයන් හතුරන් හැටියට සැලකීම බව අගමැතිවරයාගේ අදහසයි. මෙම දේශපාලනය 2019 ජනාධිපතිවරණයේදී ජනතාව පරාජය කළ බව පවසන රාජපක්ෂ මහතා මේ රටේ ජාතීන් හා ආගම් අතර මීට කලකට පෙර තිබුණු ආකාරයේ සමගියක්, අනෝන්‍ය සහයෝගයක් යළි ඇති කිරීමට නම් පටු ජාතිවාදී දේශපාලනයෙන් ප්‍රතිලාභ අත් නොවෙන තත්ත්වයක් ඇතිවිය යුතු බව පවසයි. පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පාර්ශවයට ලබාදෙන මෙන් අග්‍රාමාත්‍යවරයා සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් අවධාරණය කළේ කවුරුන් කුමක් කීවත් තමා කිසි දිනෙක දෙබිඩි දේශපාලනයේ නිරත නොවන බව පෙන්වා දෙමින් අගමැතිතුමාගේ ප්‍රකාශයට පිළිතුරු දුන්නේ ය.
"රටේ අගමැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියනවා. මම සතුටු වෙනවා. ඒ මාධ්‍ය නිවේදනය පිළිබඳව. මිත්‍රවරුණි රටේ අගමැතිතුමා පොහොට්ටුවේ ප්‍රධානියා පිළිරගෙන හමාරයි. තමන්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙන කවුරුත් නෙමෙයි දුරකතනයයි සමගි ජන බලවේගයයි සජිත් ප්‍රේමදාසයි කියන එක එතුමා පිළිඅරගෙන තියනවා. එතුමා කියනවා එතුමාගේ ප්‍රකාශයේ දැන් බොහෝ දෙනෙක් අපි වටා ඒකරාශී වෙනවලු. රටේ අගමැතිතුමාම කියනවා සජිත් ප්‍රේමදාස වටා සමගි ජන බලවේගය වටා ජනතාව එක්රොක් වෙනවයි කියලා.මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා ගරු අගමැතිතුමාට මේ වගේ නිර්දේශයක් මේ වගේ රෙකමන්ඩේෂන් එකක් හරි අමාරුයි ගන්න. බොහෝම අමාරුයි ගන්න. දැන් මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ ඇයි. කණගාටුයි කියන්න රටේ අගමැතිතුමා බය වෙලා තියනවා . පහුගිය දින කිහිපයේ උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ මම කරපු සංචාරය ගැනත් ඒ සංචාරයේදී මම කරපු ප්‍රකාශ ගැනත්. මම එලිපිටම කිව්වා සිංහල බෞද්ධ රටේ සෙසු ආගම් සෙසු ජාති ආරක්ෂා කරනවයි කියලා. මම උතුරු නැගෙනහිර ගිහිල්ලා මොකද්ද කිව්වේ මම කිව්වා ඒකීය ශ්‍රී ලංකාවේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවා. පළාත් සභා ක්‍රමය මෙලෙසම අපි ක්‍රියාත්මක කරනවා ඉදිරියට. දැන් මම එහෙම කියන කොට ගරු අගමැතිතුමාට ලොකු අමාරුවක් ඇති මොකද එතුමා තමයි පිටරට ගිහිල්ලා තර්ටීන් ප්ලස් කියලා අපේ රටට ඇවිල්ලා තර්ටීන් මයිනස් කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු පුද්ගලයා.ලෝකෙට ගිහිල්ලා කියනවා 13 ධන කියලා අපේ රටට ඇවිල්ලා කියනවා 13 ඍණ කියලා මේ වගේ ද්විත්ව රංගනයක් ක්‍රියාත්මක කරපු අගමැතිතුමාගේ හිටපු ආණ්ඩුවට බොහොම අමාරු ඇති උතුරු නැගෙනහිරට ගිහිල්ලා මම කෙළින්ම කියනකොට මේක ඒකීය ශ්‍රී ලංකාවක් ඒකීය රටක් ඒකීයත්වය සුරකිනවා හැබැයි ඒකීය ශ්‍රී ලංකාව තුළ මේ ක්‍රියාත්මක වූ බලය බෙදීමත් අපි ආරක්ෂා කරනවා අපි රැකගන්නවා පළාත් සභා ක්‍රමය රැක ගන්නවා. වෙන මොකුත් නිසා නෙමෙයි මේ පළාත් සභා ක්‍රමය ඉතාමත්ම වැදගත් මේ රටේ ඒකීය භාවය ජාතීන් අතර සමගිය ආගම් අතර සමගිය සුරකින්න. ගරු අගමැතිතුමනි ජාති වාදයෙන්, ජාති බේදෙන් ,ආගම් වාදයෙන්, ආගම් භේදයෙන් අන්තවාදෙන් රටක් ආරක්ෂා කරන්නට බැහැ. මේ ඒකීය ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව රැක ගන්නට නම් භෞමික අඛණ්ඩතාවය සුරකින්නට නම් මම තරයේ විශ්වාස කරනවා ආගම් අතර ජාතීන් අතර සංහිදියාව සහෝදරත්වය මිත්‍රශීලීත්වය අපි ව්‍යාප්ත කරන්නට ඕන. මේ වගේ ප්‍රකාශ කරන්නට පෙර ගරු අගමැතිතුමනි කැඩපතක් ඉදිරිපිටට ගිහිල්ලා තමන්ගේ අඩුපාඩු දිහා හොදින් හොයලා බලලා මේ වගේ නිවේදන නිකුත් කළොත් වඩාත් වැදගත් වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු අගමැතිතුමනි මේ වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න.මේ විසකුරු දේශපාලනයෙන් ඉවත් වෙන්න. ඔබතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ ලෝකෙට කිව්වා 13 වෙනි සංශෝධනයෙන් ඔබ්බට ගිහිල්ලා වැඩි බලයක් දෙනවයි කියලා .හැබැයි ලංකාවට ආපු හැටියේ මොකද්ද කිව්වේ 13 කියලා. කරුණාකරලා පැහැදිලි කරන්න දැන් ඔබතුමා තර්ටීන් ප්ල්ස් එකේද ඉන්නේ තර්ටීන් මයිනස් එකේද කියන එක. ඡන්දෙ කාලේ නිසා රට වටේම කියයි තර්ටීන් මයිනස් කියලා. හැබැයි ඡන්දය අවසන් වුණු විගසම ලෝකේ වටේම ගිහිල්ලා කියන්න ඉඩ තියනවා නෑ අපි තර්ටීන් ප්ල්ස් දෙනවයි කියලා. සමගි ජන බලවේගයේ අපි කිසිම දවසක මේ දෙබඩි දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ දිව දෙකේ දේශපාලනය අපි දියත් කරන්නේ නෑ. මේ ද්විත්ව රංගනවලින් රටේම ජනතාවට එපා වෙලා තියෙන්නේ"  
https://www.facebook.com/NewsfirstSL/videos/609338169988595/