අපේ රට හැමදාම යටත් කළේ ගිවිසුම් වලින් - පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි අගමැති ඉදිරියේ කියයි

by Chathuranga Rajapaksha 04-07-2020 | 8:52 PM
COLOMBO (News 1st): අපේ රට ආක්‍රමණ 17කින් පමණ ජයග්‍රහණය කළ ද සෑම විටම රට යටත් කරගෙන ඇත්තේ ගිවිසුම් වලින් බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. එම නිසා අප ඉතා අවධානයෙන් සහ අවදියෙන් ගිවිසුම් පිළිබඳ සිටිය යුතු බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේය. උන්වහන්සේ මෙම අදහස් පල කළේ, තංගල්ල, කාල්ටන් නිවසේදී අද පැවැත්වුණු අමා දම් සිසිල වැඩසටහනේදීය.

"මේ ලංකාවාසීන්ට අපි කියන්නේ හැම වෙලාවෙම කොයි වෙලාවෙද අපිට හානි කර දේ එන්නේ කියලා ඉස්සි ඉස්සි බල බල ඉන්න ඕන. මේ රට ඉන්දියන් සාගරේ මේ පිහිටලා තියන තැන පිහිටලා තියනකන් අපිට ඕය ජාත්‍යන්තරව එන ප්‍රශ්න, සතුරු ප්‍රශ්න, කකුලෙන් ඇදිලි මේ සියලු ආක්‍රමණ අපිට එනවා. ආක්‍රමණ 17ක් විතර ඇවිල්ලා තියනවා ඒ හැම එකක්ම අපි දිනලා තියනවා. අපිව යටත් කරපු හැම වෙලාවෙම අපිව යටත් කරලා තියෙන්නේ ගිවිසුම්වලින්. සුද්දා අපිව යටත් කෙරුවෙත් ගිවිසුම්වලින්. ඒ නිසා අපි ඉතාම අවධානයෙන් අවදියෙන් ඉන්න ඕන කාරණාව තමයි මේ ගිවිසුම් ගැන. අපේ රට කවදාවත් යටත් වෙලා නෑ ගහලා. අපේ රට යටත් වෙලා තියෙන්නේ ගිවිසුම්වලින්"

අමා දම් සිසිල වැඩසටහන පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.