JUST IN : වරායේ වර්ජනය අවසන්

JUST IN : වරායේ සේවක වැඩ වර්ජනය අවසන්

by Staff writer 03-07-2020 | 9:03 PM

COLOMBO (News 1st) : කොළඹ වරායට චීනයෙන් ගෙනා දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමත් සමග වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

කෙසේ වෙතත් වෘත්තීය සමිති අවධාරණය කරන්නේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන තෙක් අරගලය ගෙන යන බවයි. මෙම දොඹකර 3 පසුගිය 20 වැනිදා කොළඹ වරායට රැගෙන ආ නමුත් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් ඇති බව වෘත්තීය සමිති චෝදනා කළේ ය. ඒ අනුව වරාය සේවකයින් තිදෙනෙකු දොඹකර මතට නැග අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. සෙසු සේවකයින් ද ඊට සහය දක්වමින් වරාය කටයුතු අකර්මණ්‍ය කරමින් වැඩ වර්ජනයක නිරත විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(03) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසට වරාය වෘත්තීය සමිති නියෝජිතයින්ව කැඳවා ගැටලුව ගැන සාකච්ඡා කර ඇත. අනතුරුව අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ගෙන්වන ලද දොඹකර නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑමට කටයුතු කරන ලෙසයි. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා -
අපි එකඟතාවයකට ආවා වරායට දොඹකර ඔක්කොම බාන්නත් ඉදිරියේදී මේ තියෙන ගිවිසුම් ගැන කැබිනම් මණ්ඩලයේදී සාකච්ඡා කරලා විසදුමක් දෙන්න පොරොන්දු වුණා.
වරායේ සියලු වෘත්තීය සමිති නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව තිබේ. වරාය, වානිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා -
ග්‍රැන්ටි දොඹකර තුන ඊ සි ටී පර්යන්තයේ ස්ථාපිත කරන්න ගරු අග්‍රාමාත්‍යතුමා අවසර දුන්නා. දැන් ඒක . ඔව් ඊ සී ටී එකේ ගොඩබාන්න. අපේ සටනේ ජයග්‍රහණය අපි ලබා ගත්තා.
වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා -
සාකච්ඡාවේදී මේ උපදෙස ලැබුනේ නැත්තන් මේ සටන ජීවිත කීයකින් කෙළවර වෙයි ද කියලා අපිට හිතාගන්න බැරි වෙනවා.
සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා -
පැවති ගැටලුවට අද දිනයේදී යම් ප්‍රමාණයකින් නිරාකරණය කරගන්න පුලුවන් වුණා. අපේ බලාපොරොත්තුව තිබුණේ වෘත්තීය සමිතිවල නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරවීම. ඒ සඳහා වූ ක්‍රියාවලිය දක්වා යෑම.
දින දෙකක් දොඹකරයක් මත සිටි වරාය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට අද පස්වරුවේ තීරණය කර තිබේ. වරාය, වානිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා-
අපේ මේ සටන තාවකාලික සටනක් පමණයි. මේ ජයග්‍රහණය ප්‍රධාන අරමුණ නැගෙනහිර පර්යන්තය පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරීත්වයෙන් පමණක් ක්‍රියාත්මක වන පර්යන්තයක් විදිහට ඩොලර් කෝටි ගණන් උපයන ලංකාවේ ආර්ථිකයේ ලංකාවේ හදවත බදු එකම හුස්ම පොද ආරක්ෂා කර දෙන ලෙස .
වරාය, වානිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා-
ලිට්ල් ඉන්දියන්ලගේ සිහින ඩොලර් මලු කාක්කෝ පැත්තකට විසික් කරලා නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වනතෙක්. වරාය සේවකයින්ගේ අතින් මෙහෙයුම් සිදු වනතෙක් අපි සටන අතරින්නේ නැහැ .
වරාය, වානිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා-
මේක වචනයකින් කරන්න බැහැ . මේක බාලා මෙතන වැඩ කටයුතු කරන්න බැහැ . කමිෂන් කරන්න මාස 2-3ක් යනවා . ඒ වෙනකොට අලුත් ආණ්ඩු හැදිලා තියෙයි.
වරාය වෘත්තිය සමිති මෙලෙස පෙළ ගැසුණේ විදේශ රටවලට අපේ වටිනා සම්පතක් විකුණා දැමීමේ සූදානම වැළැක්වීමටයි. වෘත්තීය සමිති පවසන ආකාරයට නැගෙනහිර පර්යන්තය පැවරීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාවටයි. අප රටේ වටිනා සම්පත් ඉන්දියාවට ලබා දීමට සැලසුම් සකස් වද්දී, මෙවනවිටත් කොළඹ වරායේ දකුණු පර්යන්තය චීනයත් සමග සිදු කරන හවුල් ව්‍යාපාරයකි. හම්බන්තොට වරායේ වටිනාම කොටසේ වත්මන් පාලනය හිමි වන්නේ චීනයටයි. මේ රටේ වටිනා ජාතික සම්පත් නොවේද? කොළඹ වරායට දොඹකර 3ක් ගෙන ආවේ රටේ ජනතාවගේ මුදලින් ය. වෘත්තීය සමිති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දැන් මේ දොඹකර ගොඩබා තිබේ. දැන් කළ යුතුවන්නේ වහාම පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීමයි. එය සිදුවෙයි ද? එසේ නැතහොත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෘත්තීය සමිති විසින් රටේ ජනතාව රැවටීමට කල ඇස් බැන්දුමක් බවට පත් වෙයි ද? සෑම රජයක්ම මෙතෙක් කලක් සිදු කරනු ලැබුවේ, අප රටේ සම්පත් විජාතිකයින්ට විකිණීමයි. රජයක් පත්විය යුත්තේ රට පාලනය කිරීමට මිස ජාතික සම්පත් විකිණීමට නොවන බව කාගේත් මතයයි. ජනතාව සතු සම්පත් විකිණීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? කෙසේ වෙතත් වසර 70 ක් පුරා රටේ සිදු වුණේ ජාතික සම්පත් වරින් වර විකුණා දැමීම නොවේ ද ?   https://www.youtube.com/watch?v=vPPUkKLDggA&feature=youtu.be